මාලිංගට තවත් මාස 5ක් ක්‍රිකට් බෑ

අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පවතින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියද අහිමිවෙනු ඇති බව වාර්තා වෙනවා.

ඒ දණහිසේ ආබාධයෙන් යථා තත්තවයට පත්වීමට මාලිංගට තවත් මාස පහක කාලයක් පමණ ගතවෙනු ඇති බවට වෛද්‍ය වාර්තා වලින් පෙන්වා දෙන හෙයිනි.

ආබාධයකට ලක්ව ඇති මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයද අහිමිවිය. අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාලිංගේ ආබාධ තත්ත්වය පිළිබඳව කළ පරීක්ෂණයේද නිර්දේශ කළේ මාස හයක කාලයක් විවේකය අවශ්‍ය බවයි.

ඒ අනුව ඔහුගේ මාස හයක කාලය ඔක්තෝබර් මාසයේ අවසන් භාගය දක්වා දිවෙනු ඇත. මේ පිළිබඳව මාලිංගට ප්‍රතිකාර කරන මහාචාර්ය අර්ජුණද සිල්වා මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ මාලිංගට නැවතත් සුපුරුදු පරිදි ක්‍රිකට් පිටියට පිවසීමට එළැඹෙන දෙසැම්බර් මාසයේදී පමණ හැකි වෙනු ඇති බවයි.

මේ අතර ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපරි ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සඳහා සහභාගීවීමට ලසිත් මාලිංග තීරණය කර තිබෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

නිවේදයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ මාලිංග තරගාවලියට එක්වන බව දැනටමත් තහවුරු කර ඇති බවයි. මාලිංගට අමතරව ඇල්බ් මොකල්, බ්‍රෙන්ඩන් මැලකම්, ඔයින් මොගන් යන ක්‍රීඩයන්ද තරගාවලියට එක්වීමට නියමිතය.