කෝටි 180ක ගල් අඟුරු වංචාව

කෝටි 180ක ගල් අඟුරු වංචාවේ අලගිය මුලගිය තැන් හෙළිවෙයි

පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විදුලි බල ඇමැතිවරුන් සිවුදෙනකුට අමාත්‍යාංශයේ මාෆියාව වරදාන දී ක්‍රියාත්මක කර ඇති දූෂිත ගල්අඟුරු ගනුදෙනුවෙන් දැනට සිදුවී ඇති පාඩුව ඩොලර් හතළිස් අට ලක්ෂ අසූදහසක් (මිලියන 4.88) යැයි දූෂණ විරෝධී පෙරමුණ කියයි.

විගණකාධිපතිවරයා පසුගිය මාර්තු මස 19දා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාටද පිටපතක් සහිතව විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිකුත් කර ඇති විගණන විමසුමේ ඒ වන විට රුපියල් මිලියන එක්දහස් අටසිය තුනක (1803) හෙවත් ඩොලර් මිලියන එකයි දශම අටක (1.8) පාඩුවක් රජයට සිදුවී ඇති බව දූෂණ විරෝධී පෙරමුණ කියයි.

යම් හෙයකින් එම විගණන විමසුම පරිදි ඒ අවස්ථාවේම අමාත්‍යාංශය ක්‍රියාත්මක වූවා නම් මේ වන විට සිදුවී ඇති ඩොලර් මිලියන හතරයි දශම අටයි අටක හෙවත් රුපියල් මිලියන හත්දහසකට ආසන්න මහජන මුදල් කන්දරාව ඉතිරි කර ගැනීමට ඉඩ තිබුණු බවද දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

විදුලි බල සහ බලක්ති අමාත්‍යාංශයේ හිටපු ඇමැතිවරුන් වන ජෝන් සෙනෙවිරත්න, පාඨලී චම්පික රණවක සහ වර්තමාන ඇමැති රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ද හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද දැන හෝ නොදැන ගල්අඟුරු ගනුදෙනුවේ යම් යම් වරදානවලට යට වී මාෆියාවේ ක්‍රියාකලාපයට අනුගතව ඇතැයිද දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු කියයි.

ගල්අඟුරු ගනුදෙනුවේදී ඇමැතිවරුන්ගේ කාර්යභාරය අමාත්‍ය මණ්ඩල සන්දේශයට අස්සන් තබා ඉදිරිපත් කිරීම යැයිද සෙසු කටයුතු වගකීමෙන් කළ යුත්තේ අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණ කමිටුව බැවින් දූෂිත ගනුදෙනුවට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ ප්‍රසම්පාදන කමිටුවත් තාක්ෂණ කමිටුවත් ඇතුළු නිලධාරීන් යැයිද කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

ගනුදෙනුවට සම්බන්ධ නඩු තීන්දුවෙන් අක්‍රමිකතාවට දායක වූවන් වශයෙන් අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ, අතිරේක ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇම්.සී. වික්‍රමසේකර, එස්. විතානගේ, ජී.ආර්.එල්. වසන්ත සහ එස්.එන්. සරණතිස්ස යන අය සඳහන් කර ඇති බවද දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු කියයි.

ගල්අඟුරු ගනුදෙනුවේ කරුණු කාරණා ඇතුළත් කර විගණකාධිපතිවරයා පසුගිය මාර්තු මස 19දා නිකුත් කර ඇති විගණන විමසුමට මේ වන විට මාස පහක් පමණ ගතව ඇතත් පිළිතුරු දීමට ලේකම්වරයා උනන්දුවක් ගෙන නැතැයිද එසේ උනන්දුවක් නැත්තේ දීමට පිළිතුරු නැති නිසා යැයිද කීර්ති තෙන්නකෝන් මහතා කීය.
ගල්අඟුරු මිලට ගැනීමේ පාඩුව දිනෙන් දින අධික වන බවද රජය කළ යුතුව ඇත්තේ ගල්අඟුරු මිලදී ගැනීම අත්හිටුවීම යැයිද එමඟින් අලාභය නවතාගත හැකි යැයිද දූෂණ විරෝධී සංවිධානයේ කැඳවුම්කරු කීය.

ගල්අඟුරු ගනුදෙනුවෙන් පාඩුවක් නොව ඩොලර් මිලියන තුන්ලක්ෂ හතළිස් දෙදහස් අටසිය තිස්තුනක ලාභයක් සිදුවී ඇතැයි කියමින් රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ද පාර්ලිමේන්තුවද මේ රටේ මහජනයාද මුළා කරන විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාද විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාද රාජකාරිවලින් ඉවත් කළ යුතු යැයිද කීර්ති තෙන්නකෝන් මහතා කීය.

ටෙන්ඩරය අත්හිටුවුවහොත් විදුලි බිල හරි අඩකින් අඩු කර මහජනතාවට යහපතක් කළ හැකි යැයිද එහෙත් මහින්ද රාජපක්ෂ රෙජීමයේ දූෂණයට විරෝධය දැක්වූ අජිත් පී. පෙරේරා, නිමල් බණ්ඩාර යන මන්ත්‍රිවරුන් අද පාර්ලිමේන්තුවේ හොරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරනවාදැයි දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් ඇසීය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව (2015 අගෝස්තු සිට 2016 මැයි දක්වා) ගල්අඟුරු මෙට්රික් ටොන් මිලියන දෙකයි දශම එකයි නවයක් මිලට ගෙන ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන එකසිය දාහතරක් ගෙවා ඇති බවද ආණ්ඩුවේ වගකීම ටෙන්ඩරය අහෝසි කිරීම බවද කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
විගණන පනත ක්‍රියාත්මක කර තිබුණේ නම් මිලදී ගැනීමට සම්බන්ධ නිලධාරීන්ගෙන් අලාභය අය කර ගැනීමට හැකියාව ඇති බවද කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

රාජගිරිය වැලිකඩවත්තේ දූෂණ විරෝධී පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝද නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද එම අවස්ථාවට සහභාගි වූහ.