ලොකු පුතා අම්මව මරලා!

killed
මාවනැල්ල අත්තනගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් පෙරේදා (20දා) සවස සිය මවගේ බෙල්ලට පිහියකින් කොටා ඝාතනය කොට ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අත්තනගොඩ අම්බුළුගල, මාවනැල්ල ලිපිනයේ පදිංචිව සිටි කන්දසාමි තෛවානි නමැති 59 හැවිරිදි තිදරු මවකි.

ඝාතනයට ලක්ව ඇති තිදරු මව සිය සැමියා හා වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනා සමඟ නිවෙසේ පදිංචිව සිටින බවත් බාල දියණිය පොල්ගහවෙල ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහ වී සිටින බවත් පොලිසිය කියයි. සැකකාර වැඩිමහල් පුතා (36) රැකියාවක් නොකරන අතර ප්‍රදේශයේ පිහිටි තේ වතුවල සුළු රැකියා කරමින් ජීවත් වෙයි. ඔහු අංගොඩ සහ පේරාදෙණිය රෝහලෙන් මානසික රෝගයකට ප්‍රතිකාරද ලබාගෙන ඇත.

පෙරේදා (20දා) සවස 4.30ට පමණ ඝාතනයට ලක්ව ඇති මව හා සැකකාර වැඩිමහල් පුතා අතර නිවෙසේ ප්‍රශ්නයක් පැනනැඟී ඇති අතර පසුව සැකකරු මව පසුපස පන්නාගෙන ගොස් නිවෙස ඉදිරිපිටදී ඔහු භාවිත කරනු ලබන තේ ගස් කපන පිහියෙන් මවගේ හිසෙහි කොණ්ඩය කපා උරහිසට හා බෙල්ලටද කොටා ඇත. අසල්වාසීන් විසින් තුවාලකාරිය මාවනැල්ල මූලික රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇත.

සැකකරු තේ කැපීමට ගන්නා පිහියද රැගෙන මාවනැල්ල ප්‍රදේශයට යමින් සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට ඊයේ (21දා) කරුණු වාර්තා කිරීමෙන් පසු මාවනැල්ල මහෙස්ත්‍රාත්වරයා මාවනැල්ල රෝහලට ගොස් මූලික පරීක්‍ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා අදාළ වාර්තාව සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.