මුහුදු ජලයෙන් අයිස්

ice
මුහුදු ජලයෙන් අයිස් නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ජපන් රජයේ කැමැත්ත පළ වෙයි.

ජපන් විශේෂ නියෝජිත කණ්ඩායමක් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමු වූ අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය උදෙසා ජපානයෙන් නවීන තාක්ෂණික යාත්‍රා ලබා ගැනීමට අවධානය යොමුවී ඇති බවත්, ප්‍රජා මූලික කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ ජපන් තාක්ෂණයෙන් යුත් නවීන ධීවර යාත්‍රා ලාංකික ධීවර ජනතාව වෙත ලබා දීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් දිලිප් වෙදආරච්චි මහතා මේ දූත පිරිසෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලාංකික ධීවරයා නෙළා ගන්නා මත්ස්‍ය අස්වැන්න ජපානය වෙත අපනයනය කිරීමේ පහසුකම් සලසා දීම පිළිබදව ද මේ සාකච්ඡාවේ දී අවධානයට ලක්විය. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වීමත් සමඟ තරගකාරී මිල ගණන් යටතේ ධීවර ජනතාවගෙන් මත්ස්‍ය අස්වැන්න මිලදී ගත යුතුව ඇතැයි ද මෙහි දී දිලිප් වෙදආරච්චි මහතා ජපන් නියෝජිත කණ්ඩායමට පෙන්වා දුන්නේය.

එහි දී ජපන් නියෝජිතයන් කියා සිටියේ ලාංකික ධීවර ජනතාවට ජපන් තාක්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා ලබා දීම පිළිබඳව කටයුතු කරන බවය. ලාංකික ධීවර ජනතාවට වඩාත් ඵළදායි ලෙසත් වැඩි ආදායමක් ධීවරයා වෙත ලැබෙන ලෙසත් එම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බවටත් මෙහි දී එම ධූත පිරිස ප්‍රතිඥා ලබා දෙන ලදි.

නෙළා ගන්නා මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මක භාවය රැකගැනීම සඳහා අයිස් කුට්ටි වෙනුවට මුහුදු ජලයෙන් අයිස් පතුරු නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය ද ලබා දීමට මේ ජපන් නියෝජිත කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවේ කැමැත්ත පළ කළේය.