සයිටම් අහෝසියි නව ආයතනයකට පවරයි

සයිටම් අහෝසි කර එය ලාභ නොලබන ආයතනයක් ලෙසින් නව ආයතනයකට පැවරීමට රජය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති අතර දැනට නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වය අහෝසි කිරීමටද රජය තීරණය කළ බව එම නිවේදනයේ දැක්වෙයි.

සයිටම් සතු වත්කම්, වගකීම්, කාර්ය මණඩලය හා සිසුන් නව ආයතනයකට පැවරීමට යේජනා කර ඇති අතර නව බඳවා ගැනීම් දැනට අත්හිටුවා ඇත.

එහිදී නව බඳවා ගැනීම් කළ යුත්තේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ වන අවම ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත කෙරෙන නව ආයතනය යටතේ බව ද එමගින් අවධාරණය කර ඇත.

එහිදී එකඟ වූ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට නියමිතය. එමෙන්ම එය පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ටද සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම මගින් එහි අධ්‍යාපනය ලැබිමට අවස්ථාව හිමි වේ.

ඉහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය සඳහා ඉහළ මට්ටමේ නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් වහාම පත් කිරීමට අපේක්ෂා කරන බවත් එම සමස්ත ක්‍රියාවලිය මෙම වසරේ දෙසැම්බර් 31දාට පෙර අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු බවත් එම නිවේදනයේ දැක්වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ සයිටම් ගැටලුව නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ කමිටුවේ විසඳුම් යෝජනාවලට අනුවය.

දීපා වසන්ති එදිරිසිංහ