උදාවන සතියේ ඔබේ දෛවය

මේෂ

ඔබේ ලග්නාධිපති කුජ, රවි සමග තුන්වැන්නේද සඳු දොළහේද ගමන් කරමින් උදාවන මේ සතිය ආරම්භයේ දී පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා ඇත. ආදායම් තත්ත්වයද සතුටුදායක බව පෙනේ. දරුවකුගේ දියුණුවට කරන කටයුතු වෙනුවෙන් දුර ගමනක්‌ යැමට සිදු වෙනවා ඇත. මේෂ හිමි ව්‍යාපාරිකයන්ට බලාපොරොත්තු වන ලාභ ලබාගත හැකිවේ. කෙසේ නමුත් බිරිඳ හෝ සැමියා සමඟ අමනාපකමක්‌ ඇතිවීමටද ඉඩ තිබෙන බව පෙනේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතු දින කිහිපයකට කල් දැමීම මැනවි. සුබ පාට - රෝස, සුබ අංකය - 03.

වෘෂභ

ලග්නාධිපති සිකුරු දොළහේද සඳු එකොළහේද ගමන් කරමින් උදාවන මේ සතිය බොහෝදුරට සුබ පල දායක තත්ත්වයක්‌ ඇති කරන බව පෙනේ. සහෝදරයකුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුමක්‌ ලබාගත හැකි වේ. අවිවාහක අයගේ මංගල යෝජනා ස්‌ථිර වීමට කරුණු යෙදෙනවා ඇත. එවැනි කටයුතු සඳහා ගමන් බිමන් යැමටද සිදුවිය හැකියි. ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ආදායම් ලැබේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටද අවස්‌ථාව උදාවේ. ශනි ඒරාෂ්ටකයක්‌ද පවතින නිසා උත්සාහවන්තව කටයුතු කරන්න. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. සුබ පාට - සුදු මිශ්‍ර ලා, සුබ අංක - 2, 6.

මිථුන

ලග්නාධිපති බුධ දොළහේද සඳු දහවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝදුරට සුබදායක බව පෙනේ. උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන මිථුන හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබූ බාධා ඉවත් වී පහසුකම් සැලසෙනවා ඇත. පසුගිය දිනවල පැවති සිත් තැවුලකට විසඳුම් ලබා ගැනීමට හැකිවේ. ගෘහ ජීවිතය සාමකාමීව සතුටින් ගත වෙනවා ඇත. එමෙන්ම රැකියා හෝ ව්‍යාපාර අංශවලද අන් අය සමඟ විනෝදයෙන් කාලය ගතවේ. ව්‍යාපාරවලින් ලාබ ලැබේ. දරුවන් හා ශිෂ්‍යයන් පිළිබඳව සිතා සතුටට පත්විය හැකිවේ. රැකියා ප්‍රධානීන්ගෙන් උදව් ලැබේ. නව ව්‍යාපාර ආරම්භයටද ඉතා සුබ දායකයි. සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංක 2, 6

කටක

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සඳු නව වැන්නේද රවි කුජ සමඟ දොළහේද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භය තරමක්‌ බාධා ඇතිවන බව පෙනේ. සිත් තැවුල්, සෙම් රෝග වැනි අසනීප නිසා එදිනෙදා කටයුතු වලට බාධා ඇතිවීමට ඉඩ තිබේ. පවුලේ වියදම්ද බලාපොරොත්තු නොවූ තරමින් ඉහළ යැමට කරුණු යෙදේ. කෙසේ නමුත් සතිය මැද වන විට මේ ගැටලු බොහෝ දුරට විසඳී යනවා ඇත. ආගමික උත්සවයකට සහභාගි වීමට හැකිවේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා අවහිර ඉවත්වී එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. ස්‌නායුගත රෝග හා සෙම් රෝග වලින් ප්‍රවේශම් වෙන්න. සුබ පාට - කහ, තැඹිලි, සුබ අංක - 5, 6.

සිංහ

ඔබේ ලග්නාධිපති රවි, කුජ සමඟ එකොළහේද සඳු අටවැන්නේද ගමන් කරමින් මෙම සතිය උදාවන්නේ විවාහ බාධාවක්‌ද ඇති කරමින් බව පෙනේ. අවිවාහක සිංහ හිමියන්ගේ විවාහ මංගල යෝජනාවලට බාධා ඇති විය හැකියි. අන් අයගේ බිරිඳ හෝ සැමියා සමඟ අමනාපකම් ඇතිවීමට කරුණු යෙදිය හැකිය. හවුල් ව්‍යාපාර කරන අයගේ ව්‍යාපාරවලට බාධා ඇතිවීමටද ඉඩ තිබේ. සතිය මැද වන විට දරුවෙකු නිසා සිත් තැවුලක්‌ ඇති විය හැක. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා පවතී. සහෝදරයෙකු හෝ අසල්වැසියෙකු අමනාප වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වෙන්න. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වෙන්න. සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 5.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ, නව වැන්නේද රවි සමඟ කුජ දහවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක්‌ බාධා සහිත සුබා සුබ මිශ්‍රපල ඇති කරන බව පෙනේ. කෙසේ නමුත් බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසේ. නීතිමය අංශවල ආධාර උපකාර ලැබේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. විවාහ සහකරු සමඟ සතුටින් කාලය ගතවේ. අවිවාහක අයට මංගල යෝජනා උදාවනවා ඇත. විදේශ රැකියා හෝ විදේශ ගමන් පිළිබඳව බලාපොරොත්තු සාර්ථක කරගත හැකි වේ. පවුලේ වැඩිහිටියෙකුට අපලදායක තත්ත්වයක්‌ද පෙන්වයි. ස්‌නායුගත රෝගයන්ගෙන් ප්‍රවේශම් වෙන්න. සුබ පාට - කහ, සුබ අංකය - 5.

තුලා

සිකුරු හිමි තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු හත්වැන්නේද සඳු හයේද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී සතුරු කරදරයක්‌ හේතුවෙන් සිත් තැවුලක්‌ ඇති විය හැකි බව පෙනේ. බිරිඳ හෝ සැමියා අමනාප වීමට හේතුයි. අවිවාහක තුලා ලග්න හිමියන්ගේ මංගල යෝජනා පිළිබඳ කටයුතු දින කිහිපයකින් කල්දැමීම උචිතයි. ව්‍යාපාරික හවුල්කරුවෙකුද අමනාප විය හැකියි. කෙසේ තමුත් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යැමට හැකියාව ලැබෙනවා ඇත. දියවැඩියාව හා කොලෙස්‌ටරෝල් ඇති අය ප්‍රවේශම් වෙන්න. සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 6.

වෘශ්චික

කුජ සහ රවි අටවැන්නේත් සඳු පස්‌වැන්නේත් ගමන් කරමින් උදාවන මේ සතිය අවිවාහක පෙම්වතුන්ට සුබපලදායකයි. පෙම් සබඳතා ස්‌ථිර කර ගැනීමටත්, විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලටත් සුබ කාලයක්‌ බව පෙන්වයි. එසේම සෞන්දර්ය හා කලා කටයුතුවල නියෑළෙන කලා ශිල්පීන්ගේ නිර්මාණ එළිදැක්‌වීමට සුබ නැකැත් යෙදේ. අධ්‍යාපන කටයුතු සතුටින් කරගෙන යැමට හැකිවේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගතවේ. මවුපියන්ට සුබයි. සෙනසුරු දශා අන්තර් දශා ගතකරන අය වියදම් ගැන සැලකිලිමත් වෙන්න. සුබ පාට - සුදු, සුබ අංකය - 2.

ධනු

ගුරු ලග්නාධිපති හා හතර අධිපති වශයෙන් දහයේ ගමන් කරමින්ද, සිකුරු පස්‌වැන්නේද සඳු හතරේ ගමන් කරමින් උදාවන මෙම සතිය ඔබට බොහෝ දුරට සුබපල දායක බව පෙනේ. අනාගතය ගැන පෙරට වඩා හිත යොමුවන අතර චිත්ත ධෛර්යයද ඉහළ යනවා ඇත. සහෝදරයන් හා අසල්වාසීන් සමඟ ඇති අමනාප දුරුවී සුහදතාව ඇති වේ. දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර නිවසින් බැහැරව යැමටද සිදු වේ. රැකියා හා ව්‍යාපාර අංශ සුබපලදායක වේ. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සිතා සතුටු විය හැකි වේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගතකිරීමට අවස්‌ථාව උදාවේ. සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 1, 5.

මකර

ඔබේ ලග්නාධිපති සෙනසුරු දොළහේද, සඳු තුන්වැන්නේද, බුධ පස්‌වැන්නේද ගමන් කරමින් උදාවන මේ සතියේ විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට හැකි වේ. විදේශ රැකියාවල යෙදෙන අයටද සුබදායකයි. බිරිඳ හෝ සැමියා නිසා ධනයක්‌ ලැබීමට ඉඩ තිබේ. සහෝදරයෙකු පිළිබඳව සතුටුදායක ආරංචියක්‌ ලැබෙනවා ඇත. අසල්වාසීන් සමඟ සතුටින් කාලය ගතකිරීමට අවස්‌ථාව උදාවේ. සතියේ බොහෝ බාධා ජය ගැනීමට ශක්‌තිය ධෛර්යය ලැබෙනවා ඇත. මේ අතර රාහු දශා ගතකරන අයගේ හිතේ චංචල බව ඇතිවේ. ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇති අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න. සුබ පාට - කොළ, නිල්, සුබ අංකය - 4, 7.

කුම්භ

සතිය ආරම්භයේදී සඳු දෙවැන්නේද, රවි, කුජ පස්‌වැන්නේද, ශනි එකොළහේද ගමන් කරයි. අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථා උදාවේ. රැකියා හා ව්‍යාපාර අංශවල හිතවතුන් සමඟ සතුටින් කාලය ගත කිරීමට හැකි වේ. ආදායම සතුටුදායක වේ. ව්‍යාපාර ඉලක්‌ක සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා ඇත. ගෙදර දියුණුවට කරන බොහෝ කටයුතු ඉටුකර ගැනීමට, ශක්‌තිය හා ධෛර්යය ලැබේ. කෙසේ නමුත් ධනස්‌ථානාධිපති ගුරු දෙවැන්නේ ගමන් කරන නිසා පවුලේ වියදම් ඉහළ යන බවද පෙනේ. සහෝදරයෙකු හෝ හිතවතෙකු වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදු වෙනවා ඇත. වියදම් පාලනය කර ගන්න. සුබ පාට - නිල්, මිශ්‍ර ලා, සුබ අංකය - 6, 7.

මීන

ලග්නාධිපති ගුරු හත්වැන්නේද, සඳු ලග්නයේද ගමන් කරමින් උදාවන මෙම සතිය විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක කරන බව පෙනේ. කෙසේ නමුත් රැකියා හෝ ව්‍යාපාර අංශවල උසස්‌ අය අමනාප වීමට ඉඩ ඇති නිසා එවැනි අය සමඟ කටයුතු කරන විට දුර දිග බලා ක්‍රියා කිරීම මැනවි. දරුවෙකුගේ දියුණුවට කරන කටයුත්තකට බාධා ඇති විය හැකියි. ව්‍යාපාර සඳහා යොදන මුදල්වලින් පාඩු සිදුවීමටද ඉඩ තිබේ. කෙසේ නමුත් සතිය මැද වන විට මේ ගැටලු බොහෝදුරට විසඳී සුබ අතට හැරෙනවා ඇත. ස්‌නායුගත රෝගාබාධවලින් ප්‍රවේශම් වෙන්න. සුබ පාට - කහ, සුදු, සුබ අංකය - 2, 5.

කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්
Related Posts Plugin for WordPress, Blogger...