ඇඟෙන් කෑල්ලක්‌ කැපූ වසුපැටියාට ප්‍රතිකාර

ගොස්‌ සිටි වසුපැටියාට ප්‍රතිකාර කිරීමට වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ තාරක ප්‍රසාද් මහතා ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමක්‌ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස්‌ මත 14 දා කටයුතු කර තිබේ.

වසුපැටියාගේ පේෂි කීපයකට හානි සිදුව ඇති බවත්, එක්‌ කුරයකට ද හානි සිදුව ඇති බවත් වෛද්‍ය කණ්‌ඩායම හඳුනාගෙන තිබේ. වසු පැටියාගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරු වැඩිදුරටත් පැවසූහ.

වෙසක්‌ සතිය නිමවීමටත් පෙර ඉකුත් 13 දා මාස 04 ක්‌ වයසැති එළහරක්‌ පැටියකුගේ ශරීරයේ කොටසක්‌ කපා මස්‌ පිණිස රැගෙන ගිය පුද්ගලයකු කහවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ එළහරක්‌ ඇති කරන පුද්ගලයකුට අයත් මෙම වසුපැටියා ඇතුළු එළහරක්‌ 06 දෙනකු කලල්ඇල්ල යක්‌ගහ ඇල වෙල් යායේ බැඳ තිබියදී සැකකරු මස්‌ පිණිස එළහරක්‌ පැටියාගේ ශරීරයේ කොටසක්‌ කපාගෙන ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණ මඟින් අනාවරණය වී තිබේ.

එළහරක්‌ හිමිකරුවා කලල්ඇල්ල අටකලන්පන්න පදිංචි තුෂාර ඉන්දික ලක්‌මාල් (29) අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. මම අවුරුදු පහක කාලයක පටන් හරක්‌ ඇති කරනවා. මට එළහරක්‌ 06 දෙනකු ඉන්නවා. මගේ නිවසට යාබදව කුඹුරයායේ හරක්‌ බැඳලා තිබුණේ. මම පාන්දර යනකොට පැටියා හොඳටම කෑ ගහනවා. මම බලනකොට ලොකු තුවාලයක්‌ දැක්‌කා. මම හිතුවේ දිවියෙක්‌ වත් ඇවිත් කාලා කියලා. මම වට පිට ටිකක්‌ බලන කොට දැක්‌කා ලේ තැවරුණු ඇඟිලි සලකුණක්‌ ගහක තියෙනවා. මෙහෙම වැඩක්‌ කරයි කියල හිතෙන පුද්ගලයාගේ ගෙදරට මම ගියා. මම ගෙට ගිහින් බලන කොට මස්‌ වළඳ හම්බවුණා. මස්‌ කොහෙන් ද ඇහුවම කඩෙන් ගෙනාවා කිව්වා. පොහොය දවස්‌ වල මස්‌ කඩ වහලා. කොහෙන්ද මස්‌ ගත්තේ කියලා දිගටම අහනකොට හරකගෙන් කපා ගත්ත කියලා කිව්වා. මම කහවත්ත පොලිසියට පැමිණිලි කළා.

වසුපැටියාට ප්‍රතිකාර කිරීමට කහවත්ත පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් ද කටයුතු කර තිබුණි.

කහවත්ත පොලිස්‌ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රොහාන් ඕලුගල මහතාගේ විශේෂ උපදෙස්‌ මත කහවත්ත පොලිසිය උප පොලිස්‌ පරීක්‌ෂක වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධව පරීක්‌ෂණ පවත්වති.