ගව ඝාතනයට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්

ගවයෙකු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදිය හැකි නීතියක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී සම්මත වී තිබේ.

ඉන්දියාවේ බටහිර ප්‍රාන්තයක් වූ ගුජරාට් ප්‍රාන්තයේ දැනට පවතින සත්ව ආරක්ෂණ පනතට සංශෝධනයක් එක්කරමින් මෙම නව නීතිය සම්මත වී ඇති අතර, මීට අනුව යමෙකු ගව මස් ප්‍රවාහනය කර හසු වුවහොත් වසර 10ක සිර දඬුවමකටද ලක්කළ හැකිය.

ඉන්දියාවේ හින්දු සමාජය තුළ ගවයා යනු අතිශය පූජනීය වස්තුවක් වන අතර, එරට බහුතර ප්‍රාන්ත තුළ ගව ඝාතනය නීති විරෝධී කටයුත්තකි.

කෙසේ වෙතත්, ගුජරාට් ප්‍රාන්තය විසින් සම්මත කළ මෙම නව නීතියට අනුව රටේ සියලුම ප්‍රාන්තවල ගව ඝාතනයට එරෙහි නීතිවලට වඩා ප්‍රබලතම දඬුවම් පැමිණවීමක් සිදුව ඇත.

මේ ආකාරයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්වලට අමතරව ගව ඝාතනය හා සම්බන්ධ වැරදි සඳහා ඉන්දීය රු.ලක්ෂයක් දක්වා දඩ මුදල්වලටද ලක්වීමට වැරදිකරුවන්ට සිදුවනු ඇත.

ගුජරාට් ප්‍රාන්ත අමාත්‍ය ප්‍රදීප්සිං ජඩේජා මාධ්‍යවේදීන් අමතමින් පවසා සිටියේ ගවයා යනු ඉන්දීය සංස්කෘතියේ සුවිශේෂී සලකුණක් බවයි. මෙය ප්‍රාන්තයේ ජනතාව සමග සංවාදයට බඳුන්කර ගෙනඑනු ලැබූ නීතියක් බවද මෙතෙම පවසා සිටියේය.

මේ අතර, ප්‍රධාන අමාත්‍ය විජෙයි රූපනි මාධ්‍ය අමතමින් පවසා සිටියේ ඉදිරියේදී යමෙකු ගව ඝාතනයක යෙදෙන්නේ නම් ඔහුට දැඩි දඬුවම්වලට යටත්වීමට සිදුවනු ඇති බවයි.

මෙම නව නීතිය සෙනසුරාදා (01දා) සිට බලාත්මක වන බව සඳහන් වෙයි.