විදුලි රැහැන් ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම තහනම්

විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම දුරක් හා පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසි ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබේ.

සම්ප්‍රේෂණ හෝ බෙදාහැරීමේ සාපේක්ෂව බෙදාහරින රැහැනේ වෝල්ටීයතාවය අනුව තැබිය යුතු අවම පරතරය විදුලිබල ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි 36 හා 37 වන නිවේදනය යටතේ දන්වා ඇති අතර රැහැනේ වෝල්ටීයතාව වෝල්ට් 1000ට වැඩි ඒ රැහැනක සිට ගොඩනැගිල්ලක් දක්වා අවම පරතරය සිරස්ව මීටර් 2.4 ක් තිරස්ව දුර මීටර් 1.5ක් වේ.

විදුලි රැහැනෙහි වෝල්ටීය තාව ද වැඩි අගයක් ගන්නා විට තැබිය හැකි අවම පරතරය ද වැඩි අගයක් ගනී.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශය මත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම නව රෙගුලාසිය අනුමත කර ඇති අතර ක්‍රියාවට නැගීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයද සහාය දක්වයි.

ඒ අනුව ඉදිරියේදී නව ඉදිකිරීම සඳහා සංවර්ධන බලපත්‍ර පිරිනැමීමේදී විදුලි රැහැන් හා අදාළ ඉදිකිරීම් අතර නිසි පරතරය පිළිබඳ ප්‍රමිතියද සොයා බැලෙනු ඇත. මෙම ප්‍රමිතියට අනුකූල සංවර්ධන බලපත්‍ර පිරිනැමීම සඳහා අදාළ පළාත් පාලන ආයතන වෙත උපදෙස් දෙන ලෙස සියලුම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ‍ලේකම් විසින් දැනුම් දී තිබේ. මේ අනුව සංවර්ධන බලපත්‍ර සඳහා ඉදිරිපත්කෙරෙන අයැදුම්පත්‍රවලට ගොඩනැගිලි හා විදුලි රැහැන් පිළිබඳ අවම පරතරයක් සනාථ කෙරෙන තොරතුරු ද ඇතුළත් කෙරෙනු ඇත. නව රෙගුලාසියට අනුව ඉදිකිරීම්වලදී අදාළ වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයෙන් හෝ ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් ආරක්ෂිත සහතිකයක් ලබාගත යුතුවේ.