පෞද්ගලික රෝහලක එන්නතකින් සිඟිත්තා මරුට

කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු දෙකහමාරක සිඟිත්තකු හට එන්නතක් ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා මරුමුවට පත්ව ඇත. එලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි පතිරණගේ දිදුල සෙනහස් නැමැති අවුරුදු දෙකහමාරක සිඟිති දරුවෙකි.

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිඟිත්තා හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය මොහොතක අදාළ වෛද්‍යවරිය දුරකථන පණිවිඩ මාර්ගයෙන් එම වෛද්‍ය උපදෙස් ලබා දී ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටියදී රොසපින් නැමැති එන්නතක් සිඟිත්තා හට ලබාදීමට කටයුතු කර ඇත.

මෙවැනි ආකාරයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර දුරකථන පණිවිඩ මාර්ගයෙන් ලබාදීම සදාචාරාත්මක නොවන ක්‍රියාවලියක් බවත් එය දැඩි අවධානයකට ලක් කළ යුතු කරුණක් බවත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා අවධාරණය කළේය.

තවද මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මිය ගිය සිඟිත්තාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්කි විභාගයේදී එම සිඟිත්තා හට රොසපින් නැමැති එන්නතක් ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා මිය ගොස් ඇති බවත් එය හදිසි අනතුරක් බවත් තීරණය කළේය.

මියගිය දරුවා පුද්ගලික රෝහලට ඇතුළත් කළ බවත් එහි දී එම සිඟිත්තාගේ වෛද්‍ය පරීක්ෂාව සඳහා අදාළ වෛද්‍යවරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් එහිදී වෛද්‍යවරිය විසින් ලබාදුන් උපදෙස් මත ප්‍රතිකාර ලබාදීමට අදාළ අංශ වෙත දැනුවත් කළ බවත් වෛද්‍ය හේවා මුණසිංහගේ අරුණා ප්‍රියංගනී (51) යන අය අධිකරණය හමුවේ දන්වා සිටියාය.

සිද්ධියට අදාළ විශේෂඥ වෛද්‍යවරිය අධිකරණය වෙත කරුණු දක්වමින් තමා මිය ගිය දරුවාව රෝහලට ඇතුළත් කළ බවත් වෛද්‍ය ප්‍රියංගනි තමාට දුරකථන ඇමතුමක් ලබාදී දරුවාට ප්‍රතිකාර ලබාදිය යුතුව ඇති බවත් දැන්වූ බව කියා සිටියාය.

ඒ අනුව තමා එම දුරකථන පණිවිඩයෙන් අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු ආකාරය දන්වා ඒ අනුව ක්‍රියා කරන ලෙසට උපදෙස් දුන් බවත් දරුවාව පසුදා උදේ රොසපින් 350 mg දෙන ලෙසට දන්වනු ලැබූ බවත් අධිකරණය වෙත දන්වා සිටියාය. රොසපින් සාමාන්‍ය දෙන බෙහෙතක් බවත් එය සැර නැති බෙහෙතක් බවත් තවදුරටත් වෛද්‍යවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප්‍රතවන් මහතා මිය ගිය සිඟිත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා මිය ගිය සිඟිත්තාගේ මරණය රොසපින් නැමැති එන්නතක් ලබාදීම නිසා එමගින් ඇතිවූ අසාත්මිකතාවය හේතුවෙන් සිදු වූ හදිසි අනතුරක් බවට නිගමනය කළේය.

කොල්ලුපිටිය පොලිසියේ (14004) ජයලත් හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් (27689) ලාල් පතිරණ යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.

හේමන්ත ඩෙප්