විවිධ රෝගාබාධ සුව කරන කළුදුරු


අප අතර පවතින විවිධ රෝගාබාධ සුවපත් කිරීමට මෙන්ම ජීවන පැවැත්මේ අවශ්‍යතා වෙනුවෙන් භාවිත වූ ඖෂධයක් වන්නේ කළුදුරුය. එය ඈත අතීතයේ සිට ආයුර්වේදයේ දී මෙන්ම දේශීය වෛද්‍යකර්මයන්හි දී ද භාවිත වූ ඖෂධයකි. වර්තමානය වන විට එය ලෝක වාසීන්ගේ ද ජීවකයා බඳු ඖෂදයක් වී තිබේ. මේ නිසාම කළුදුරු ආශ්‍රයෙන් කෙරෙන පර්යේෂණයන් ද අතිමහත්ය. නමුත් නවීන සොයාගැනීම් බොහෝමයකට පදනම් වී ඇත්තේ අතීතයේ භාවිත වූ දැනුම වීම විශේෂයකි.

කළුදුරු වූකලී දුරු පවුලට නෑකම් කියන ශාකයක් නොවේ. එය උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Nigella sativa ලෙසිනි. නමුත් ලංකාවේ නොවැවෙන කළුදුරු ශාකය ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල හොඳින් වැවෙයි. එසේ වුව ද මෙරට කළුදුරු භාවිතය ඉතා ඈත ඉතිහාසයකට නෑකම් කියයි.

ශ්‍රී ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේට වැලඳුන රෝගාබාධයකට සුළු ගුළු උපාසක තැන විසින් සකසා දෙන කැඳ සඳහා ද කළුදුරු ඇතුළත්ව තිබි ඇත. අතීතයේ පැවැති සුළු ගුළු යාතුවට ඉඟුරු, ගම්මිරිස්, කළුදුරු, සුදුදුරු, දේවදාර, අසමෝදගම්, වියළි කහ, සුදු ලූනු, උළුහාල්, සහිඳලුණු ආදිය ඇතුළත්ව තිබේ. මලියදේව මහ රහතන් වහන්සේට ප්‍රතිකාර කර ඇත්තේ උපාසක තැනකි. ඔහු වෛද්‍යවරයකු ලෙස දක්වා නැත. මෙයින් පෙනී යනුයේ එකල සාමාන්‍ය ජනතාව අතර ද කළුදුරු භාවිත වූ බවයි.

වර්තමානයේ අපට වැලඳෙන රෝගාබාධ රාශියකට ප්‍රතිකාර වශයෙන් කළුදුරු යොදාගත හැකි බව සනාථ වී තිබේ. වා, සෙම් රෝගවලට අදාළ අපගේ වෛද්‍ය ප්‍රතිකාරවල දී කළුදුරු භාවිත කෙරෙයි. සෙම් රෝගවලට දෙන කෂායට ද බොහෝ විට කළුදුරු භාවිත කරයි.

වර්තමානයේ අපට වැලඳෙන බොහෝ රෝග පාලනය කරනු සඳහා ඇති ගුණාත්මක ඖෂධයක් ලෙස කළුදුරු හැඳින්විය හැකිය. කළුදුරු විවිධ රෝග සඳහා භාවිත වන ප්‍රතිජීවක ඖෂධ වෙනුවට ද භාවිත කළ හැකිය.

ලෝකයේ මේ වන විට කළුදුරු ඇසුරින් විවිධ ඖෂධ නිෂ්පාදනය කර තිබේ. කළුදුරුවලින් නිස්සාරණය කරගන්නා තෙල්වලට ද විශේෂ ඉල්ලුමක් ඇත. කළුදුරුවල ඇති රසායනික සංයුතියන්ට අමතරව ස්වභාවික රසායනිකයක් වන තයිමොක්වොනොන් (Thymoquinone) තමිමොහයිඩේ‍රාක්වීනොන් (Thymohydroquinone) සහ තයිමෝල් (Thymol) අඩංගු බව පැවසේ. මේ හේතුව නිසාම එය අපට වැලඳෙන වෛරස් හා බැක්ටීරියා රෝග පාලනයට ඉතා වැදගත් යැයි විද්‍යාඥවරු පවසති.

විශේෂයෙන් පිළිකා වර්ධනය අවම කිරීමට කළුදුරුවලට හැකියාව ඇත. මේ නිසාම පිළිකා රෝගීන් විෂයයෙහි වෛද්‍යවරු කළුදුරු ආශ්‍රිත ඖෂධ භාවිත කරති. තවද මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ අක්මාවේ මේදය තැන්පත් කිරීම අවම කිරීමයි. වර්තමානයේ ලොකු කුඩා බොහෝ දෙනකුට ඇති තවත් එක් ප්‍රධාන රෝගයක් වනුයේ අක්මාවේ මේදය තැන්පත් වීමයි. මත්පැන් හා වෙනත් සැර ඖෂධ භාවිතය හේතුවෙන් අක්මාවට වන හානිය අවම කිරීමට ද කළුදුරුවලට හැකියාව ඇත. දුර්වල වී ඇති අක්මාව ක්‍රියාකාරිත්වයෙන් දියුණු කිරීමට එය සමත් වේ.

වර්තමානයේ තවත් බහුල ලෙස පැතිරුණු රෝග තත්ත්වයක් වනුයේ මධුමේහයයි. කළුදුරු මධුමේහ රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඉතාමත් යහපත් ඖෂධයක් ද වේ. හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් කිරීමට ද අධිරුධිර පීඩනය පාලනය කිරීමට ද එය යහපත් ය. රුධිරගත මේදය පාලනය කිරීමට ඊට හැකියාව ඇත. තවද තරබාරු අයට විශේෂයෙන් ගුණ දෙන ඖෂධ ද කළුදුරු ඇසුරින් සැකසේ.

අපේ මුතුන්මිත්තෝ හිස කෙස් සඳහා ගල්වන තෙල් වර්ග සැකසීමට කළුදුරු අනිවාර්යයෙන්ම යොදා ගත්හ. බොහෝ විට තෙලට යොදන කල්කයට මෙන්ම තෙල් බහාලන භාජනයට කළුදුරු දැමීමට අමතක නොකළහ. හිස ගැල්වීම සඳහා ‍පොල්තෙල් හෝ තැඹිලි තෙල් වෙන්කර තැබිමේ දී එයට උළුහාල්, කළුදුරු, සැවැන්දරා මුල් දමා තැබිම සිරිතක් ලෙස පැවතිණ. කළුවන් ඝන නිරෝගී, ශක්තිමත් කෙස් කලඹකට මෙය හේතු විය. තවද හිස් කබල ආශ්‍රිතව පැන නැගෙන දිලීර ආසාදන වළක්වා ගැනීමට ද එමගින් හැකි විය. එය හිස්හොරිවලට ද මහඟු ප්‍රතිකාරයක් විය.

මෙහි ඇති තවත් ඖෂධීය ගුණයක් වනුයේ පෙණහලුවල හට ගැනෙන ආසාදන වැළැක්වීමට ඇති හැකියාවය. ඇදුම, කැස්ස වැනි රෝග සුවපත් කිරීමට දෙන ඖෂධවලට ද, ක්ෂය රෝග ප්‍රතිකාර වෙනුවෙන් ද දේශීය චිකිත්සාවේ දී කෂාය සඳහා කළුදුරු උපයෝගී කර ගනු ලැබේ.

මෙහි ඇති තවත් සුවිශේෂ ගුණයක් වනුයේ ආහාර දිරවීමට පහසු කරවීමයි. ආහාර රුචිය වැඩි කිරීමයි. බඩවැල්වල හටගන්නා පිළිකා තත්ත්වයන් අවම කිරීමට කළුදුරුවලට හැකියාව ඇතැයි නූතන විද්‍යාඥයෝ ද පවසති. ඊට අමතරව මොළයේ හට ගන්නා පිළිකා, පියයුරු පිළිකා මෙන්ම ‍ලේ පිළිකා, මුඛ පිළිකා ආදියෙන් ඇතිවන අවදානම් තත්ත්වය අඩුකරලීමට හැකියාව ඇත.

අප ශරීරයට වර්තමානයේ විවිධාකාරයෙන් විස රසායනිකයන් ඇතුළතක් වේ. ඊයම්වලින් මොළයේ ක්‍රියාකාරිත්වයට සිදුවන හානිය අවම කරලීමට කළුදුරුවලට හැකියාව ඇත. ඊට අමතරව තවත් බැර ලෝහයක් වන කැඩ්මියම් (ජඤ) වලින් වකුගඩුවලට වන හානිය අවම කිරීමට කළුදුරුවලට හැකියාව ඇති බව විද්‍යාඥයෝ පවසති.

ස්නායු පද්ධතිය ආශ්‍රිතව හටගැනෙනා රෝග පාලනය කරනු පිණිස ද කළුදුරු යොදා ගැනෙයි. දේශීය චිකිත්සාවේ දී අපස්මාර රෝගය පාලනය කිරීමට ද කළුදුරු භාවිත කෙරෙයි.

මීට අමතරව සමේ හටගන්නා විවිධ රෝග සුවපත් කිරීම සඳහා ද කළුදුරු භාවිත කළ හැකිය. කුරුලෑ සුවපත් කිරීමට මෙන්ම සිරුරේ හටගන්නා වෙනත් ගෙඩි සුවපත් කරනු පිණිස ද කළුදුර භාවිත කෙරෙයි. කැඩුම් බිඳුම් සුවපත් කිරීමට සේම තැළීම් ඉදිමුම් අවම කිරීමට යොදන ඖෂධවල ප්‍රධාන වශයෙන් කළුදුරු අඩංගුය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා කෙරෙන ප්‍රතිකාර සඳහා කළුදුරු භාවිත කළ හැකි බව සොයාගෙන ඇත.

කළුදුරු අනුසාරයෙන් විශේෂයෙන් විෂබිජ නාශකයක් මෙන්ම, කෘෂිකාර්මික කටයුතුවල දී ස්වභාවික කෘමිනාශකයක් ලෙස ද භාවිත කළ හැකි වේ. ශාකවලට වැලඳෙන දිලීර සහ වෛරස් රෝග පාලනයට ඉතාමත් යහපත්ය.

මෙයාකාරයෙන් අපට වැලඳෙන බොහෝ රෝගයන්ගෙන් අප ආරක්ෂා කිරීමට කළුදුරුවලට හැකියාව තිබුණත් දිව්‍ය ඖෂධයක් බඳු වුවත් කළුදුරු ශරීරයට අයහපත් වන අවස්ථා ද දැකිය හැකිය. වකුගඩු දියවීමේ රෝග ඇති අයට මෙන්ම ගැබිනි මව්වරුන්ට කළුදුරු එතරම් යහපත් නොවේ. කළුදුරු අධිමාත්‍රාවෙන් ගැනීම අක්මාවට මෙන්ම වකුගඩුවලට ද බලපායි. තවද දරුවන් බලා‍පොරොත්තුවෙන් සිටින අයට ද එතරම් යහපත් නොවේ. එබැවින් කළුදුරු ආශ්‍රිත ඖෂධ වෙළෙඳ‍පොළේ කොතෙකුත් තිබුණත් වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගත යුතුය.

අධික තරබාරුවට තිත
කළුදුරු විස්මිත වට්ටෝරුව මෙන්න

අධික තරබාරුව, රුධිරගත මේදය වැනි රෝග ඇති අයට කළුදුරු ආශ්‍රිතව තම නිවසේදීම සාදාගත හැකි අත්බෙහෙත් ද තිබේ. කළුදුරු, සුදුලූනු, ඉඟුරු, ගොරකා, කරපිංචා දලු, කුරුඳු ‍පොතු, උළුහාල් සමව ගෙන එයට ගම්මිරිස් ඇට කිහිපයක් ද එක්කර ඇල්දියෙන් අඹරා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයෙන් බත් සමග ආහාරයට ගැනීමෙන් අධික තරබාරුව ද රුධිරගත මේදය ද අවම කර ගත හැකිය. අධිරුධිර පීඩනය මෙන්ම දියවැඩියාව වැනි රෝග ඇති අයට ද මෙය ඉතා යහපත්ය.

කථිකාචාර්ය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ