නීතිඥ සහායක් නැතිව නඩුව දිනයි

ගම්පොළ පොලිසිය මඟින් ඉදිරිපත් කළ චෝදනා දෙකට එරෙහිව වසර තුනකට ආසන්න කාලයක් නීතිඥ සහායක් නොලබා ‍තනිවම ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කියූ ත්‍රිරෝද රථ රියැදුරකු එම චෝදනා දෙකෙන්ම නිදොස් වී ඇත. ගම්පොළ මහේස්ත්‍රාත්වරු දෙදෙනකු ඉදිරියේ මෙම නඩුව විභාග වී ඇති අතර ඒ අනුව හිටපු මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතාගෙන් පසු නඩුව විභාග කළ චාන්දනී මීගොඩ මහත්මිය මෙම සැකකරු මෙසේ නිදහස් කොට ඇත.

බීමත්ව රිය පැදවීම හා පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා දෙකට එරෙහිව මෙසේ නීතිඥ සහය නොලබා නඩු කියා ඇත්තේ ගම්පොළ ඇත්ගාල කොළනියේ පදිංචි විදානපතිරණලාගේ නුවන් තුසිත කුමාර නොහොත් මාර්කට් එකේ ලාරා නමින් ප්‍රසිද්ධ තැනැත්තාය.

ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස එවකට සිටි චන්ද්‍රා ජයවීර මහතාගේ උපදෙස් මත රථවාහන අංශ ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණයේන 2014-04-20 දින සිංහාපිටිය ප්‍රදේශයේ රථවාහන වැරදි ගනිමින් සිටි නිලධාරින් විසින් නුවන් තුසිත කුමාර යන අය ත්‍රිරෝද රථය පදවාගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී මොහුට බීමත්ව රිය පදවන බවට චෝදනා එල්ල කොට ඇති අතර තමා මත්පැන් බී නොමැති බව පවසා තර්ක කළ නිසා රාජකාරියට බාධා කළ බවට ද චෝදනා කරමින් පොලිස් ස්ථානයට රැගෙන ගොස් සිවු වතාවක් බැලුනයක් පිඹීමට ද පසුව පොලිස් ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර මහතා වෙත ඉදිරිපත් කොට සිරමැදිරියට දැමූ බව මොහු අධිකරණයේදී පවසා සිටින ලදී.

නීතිඥ සහාය ලබා නොගනිමින් හරස් ප්‍රශ්න අසා ඇති චුදිතකරු නඩුව අවසන් අදියරට පැමිණෙන අවස්ථාවේ පොලිසියේ සාක්ෂිකරු රථවාහන නිලධාරියාගෙන් අසා ඇත්තේ Òසාක්ෂිකරු කියා සිටියා හැමදේම මතක නැහැ කියා. ඒත් අද වන විටත් මගේ කටේ අරක්කු සුවඳ දැනුණ එක මතකයි යන්නය.

තවත් අවස්ථාවක චුදිතකරු අසා ඇත්තේ ‍තමා වෛද්‍යවරයෙකු ළඟට යොමුකරන්න කීවත් එය ඉටු නොවුණ බවයි.

කෙසේ නමුත් මේ පිළිබඳව තීන්දුව දෙමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කොට ඇත්තේ ස්වසන පරීක්ෂණ තලයේ මත්පැන් භාවිතා කළ පුද්ගලයෙකුගේ රුධිරය මිලිලීටර් 100 මධ්‍යසාර ග්‍රෑම් 0.08 තිබිය යුතු බවයි. නමුත් මොහුගේ පැ එක දරණ සහතිකයේ සඳහන් කර ඇති ආකාරයට මොහුගේ මධ්‍යසාර ප්‍රමාණය 0.08% ක් ලෙස සඳහන්ව තිබීම හා පොලිස් නිලධාරියාගේ මෙම පරීක්ෂණ අවිධිමත් ලෙස කිරීම යන කරුණු අනාවරණය වීමෙන් පළමු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු නොකර ඇති බවයි.

එමෙන්ම මෙම නිලධාරීන් විසින් තමාගේ බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ද විවිධාකාර නියෝග දෙමින් පීඩාකාරී අන්දමින් තමා හා කටයුතු කළ බවට ලැබී ඇති සාක්ෂි හා චුදිත තැනැත්තා වුමනාවෙන් රාජකාරියට බාධා කළ අයෙකු වශයෙන් චෝදනාවට ලක්කළ හැකි පුද්ගලයෙකු බවට තීරණය කළ නොහැකි වූයෙන් දෙවන චෝදනාවෙන් ද ඔහු නිදොස් කොට නිදහස් කර ඇත.

ගම්පොළ සමූහ