දියවැඩියාව පාලනය කරමු

වර්තමාන සමාජයේ මිනිසාගේ කාර්යබහුලත්වය ආතතිය හා වැරදි ආහාර රටාවන් නිසා මිනිසා නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක්‌ දැකිය හැකිය. එමෙන්ම බෝ නොවන රෝග සේ සැලකෙන දියවැඩියාව හෙවත් මධුමේහය පිළිබඳ අද අප සාකච්ඡා කරනුයේ පෑලියගොඩ නුවර පාරේ අංක 663 හි රන්පත වෙද මැදුරේ අධිපති ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟය.

ප්‍රශ්නය - මොකක්‌ද මේ දියවැඩියාව රෝගය කියන්නේ. ඇයි සමාජයේ පිරිස්‌ මෙතරම් මේ රෝගය සඳහා බියක්‌ දක්‌වන්නේ.

පිළිතුර - ඇත්තටම දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම සිරුරේ සීනි මට්‌ටම ඉහළ යැමයි. මෙම සීනි ප්‍රමාණය ඉහළ යැමත් සමගම ශරීරයට ඇති වන විවිධ සංකූලතා තමයි මෙම රෝග ලක්‍ෂණ ලෙස පෙන්වා දිය හැක්‌කේ. බොහෝ විට මෙම රෝගී තත්ත්වය ජාන ඇසුරින්ද ඇති විය හැකි අතර වැඩිම පිරිසක්‌ මෙම රෝගයට ගොදුරු වන්නේ නිසි ලෙස තම දේහ පාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය යුතුමය.

විශේෂයෙන් වර්තමානයේ බොහෝ පිරිසක්‌ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීම සහ ක්‍ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම තුළිනුයි.

මෙම රෝගය වැළඳුණු විට එය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබන අතර මෙම රෝගී තත්ත්වය නිසැකවම මිනිසාගේ සිරුර තුළට කරනු ලබන හානිදායක තත්ත්වය නිසා බොහෝ දෙනා මෙම රෝගය නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නේ මෙහි ඇති දැඩි බරපතළ තත්ත්වය නිසාය. එම නිසා මෙම රෝගයේ සංකූලතාව හඳුනා ගැනීම සහ මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගැනීමද ඉතා වැදගත්ය. මෙන්න මේ රෝගය නිසා බොහෝ පිරිස්‌ දියවැඩියාව රෝගයට ඉතාම බියක්‌ දක්‌වයි.

ප්‍රශ්නය - දියවැඩියාව සමඟම එන තවත් රෝගී තත්ත්වයක්‌ තමයි අතපය හිරිවැටීම. ඇයි මෙවැනි තත්ත්වයක්‌ ඇති වන්නේ,

පිළිතුර - මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් ගොදුරු වන තවත් රෝගී තත්ත්වයක්‌ තමයි ඔවුන්ගේ අතපය හිරිවැටීමේ රෝගී තත්ත්වය. මෙම රෝගීන් බහුතරය පවසන්නේ ඔවුන් ඇවිදින විට යටිපතුල් කොට්‌ට උඩ ඇවිදිනවා වැනි ආකාරයෙන් දැනෙන බවය. ඒ වගේම පාවහන් පැළැඳ සිටියත් ඒ බවක්‌ ඔවුන්ට නොතේරෙන බවත් පවසනවා.

මීට අමතරව දණහිස්‌, උරහිස්‌ මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයක්‌ ගැන රෝගීන් අප සමඟ නිතරම පවසනවා. සමහරුන්ට මෙම වේදනාකාරී බව උදෑසන කාලයේදී ඇතිවන අතර තවත් සමහරුන්ට මෙම වේදනාකාරී බව දිවා කාලයේදීත් තවත් සමරුන්ට රාත්‍රියේදීත් ඇතිවීමට හැකියාව පවතිනවා.

යම් ලෙසකින් දියවැඩියා රෝගීන්ට මෙම අත්පා හිරිය සහ වේදනාව ඇතිවනවා නම් ඊට හේතු ලෙස අදාළ රෝගියාගේ ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවන් නිසා මෙම තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව පවතිනවා.

මන්ද දියවැඩියාව තත්ත්වය නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණ තත්ත්වය නොලැබීම නිසා එම පද්ධතියේ ඇතිවන අඩුපාඩුකම් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකියි. දියවැඩියා රෝග ලක්‍ෂණවලින් පෙළෙන අයකුට ආතරයිටීස්‌ රෝගය වැළඳුනොත් මෙම වේදනාවන් දෙගුණ තෙගුණ විය හැකිය. එම නිසා එම රෝගයට ප්‍රතිකාර ලබා දීමේදී නිසි විමසීමක්‌ පරීක්‍ෂාවකින් පමණක්‌ ප්‍රතිකාර කළ යුතු වෙනවා.

"මෙම රෝග ලක්‍ෂණයන්ට අමතරව දියවැඩියා රෝගීන්ට බලපාන වෙනත් රෝග තිබෙනවාද? ඒවායේ රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂයෙන්ම මොවුන් අතර දැකිය හැකි තවත් රෝග ලක්‍ෂණයක්‌ තමයි මළ බද්ධය ඇතිවීම, ඒවාගේම මළ බුරුලට යැම, මළ බද්ධය සමඟම සම මත ඇතිවන කැසීම් තත්ත්වය සහ පළු දැමීම වැනි දේද ඇතිවිය හැකියි. හිස කැක්‌කුමද රෝගීන්ට ඇතිවීමේ හැකියාවක්‌ පවතිනවා.

නින්ද නොයැම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක්‌ පිටවීම, කේන්ති යැම, පීනස්‌ රෝග උග්‍රවීම මුඛයේ තුවාල හටගැනීම ඇස්‌වලින් කඳුළු ගැලීම හා ඇස්‌ වියළීම වැනි රෝගාබාධයන්ද ඇතිවිය හැකියි.

ප්‍රශ්නය - දියවැඩියාව රෝගයට ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවයක්‌ ලැබිය හැකිද?

පිළිතුර - අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය සුවකර ගත හැකියි.

විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි පරීක්‍ෂාවකින් පසු වැළැඳී ඇත්තේ කුමන රෝගී තත්ත්වයක්‌ දැයි නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි.

ඉතාමත් කාර්යබහුල අයට පවා ඉතා පහසුවෙන් පාවිච්චි කළ හැකි ලෙස පර්යේෂණාත්මකව දියුණු ක්‍රමවලට සැකසූ ප්‍රතිකාර ක්‍රම අප සතුව පවතින නිසා ඕනෑම පුද්ගලයකුට අප කරා පැමිණ ඉතා පහසුවෙන් තම රෝග සුව කරගැනීමට හැකියාව තිබෙන බවද මෙහිදී කිව යුතුමයි.