ක්‍රිකට් තේරීම් කමිටුව අස්වෙයි

සනත් ජයසූරියගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය බඳදා (08) ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යොමු කර තිබේ. රොමේෂ් කළුවිතාරණ, රංජිත් මධුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා තේරීම් කමිටුවේ කටයුතුවලට මැදිහත්වීම මෙම ඉල්ලා අස්වීමට හේතුව බව වාර්තා වේ.

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වෙමින් සිටියදීම මෙම ලිපිය ක‍්‍රිකට් ආයතනයට යොමු කිරීම කැපී පෙනේ. ජයසූරිය මහතා තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ තෙවැනි අවස්ථාව මෙය බව ද තතු දන්නෝ පවසති.

ජයසූරිය මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ දකුණු අප‍්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර කටුනායක ගුවන්තොටුපලේ සිට ඔහු ක‍්‍රිකට් සභාපතිවරයාගේ නිවසට ගෙන්වා ගැනීමට විශේෂ වාහනයක් ද යැවූ බව වාර්තා වේ.
එහිදී සනත් ජයසූරිය සහ ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අතර පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා පැවැත්වුණ ද ජයසූරිය මහතා ඉල්ලා අස්විමේ තීරණය වෙනස් නොකළ බව ද වාර්තා වේ.

මෙහිදී ජයසූරිය පවසා ඇත්තේ තරග ජයග‍්‍රහණ ලබන විට එහි ගෞරවය වෙනත් පිරිසක් ලබා ගන්නත් තරග පරාජය වන විට එහි අපකීර්තිය තම කමිටුව ලබා ගන්නටත් සූදානම් නොමැති බවයි.

ඉදිරි දින කීපය තුළදී ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණ ද එයට තේරීම් කමිටු සාමාජිකයන් සභාගිවනවාද නැද්ද යන්න තවම තීරණය කර නොමැති වීමෙන් එම සාකච්ඡාවද අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට වාර්තා වේ.

මේ පිළිබඳව විමසීමට සනත් ජයසූරිය මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහ කළ ද එය අසාර්ථක විය.