වර්ජන රැල්ලක්‌ රටපුරා !

අධ්‍යාපනය ඇතුළු රටේ සම්පත් පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඉදිරියේදී රට පුරා වර්ජන, උද්ඝෝෂණ සහ අරගල රැල්ලක්‌ ක්‍රියාත්මක කරන බව වෛද්‍යවරු සහ වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ පැවැසූහ.

මේ නිසා ජනතාවට ඉදිරියේදී දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයිද පවසන ඔවුහු අකමැත්තෙන් හෝ ඊට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කීහ.

සයිටම් උපාධිය නීතිගත කිරීමට එරෙහිව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මෙන්ම වෘත්තීය ක්‍ෂේත්‍රයේද විරෝධතාවන් මතුවෙමින් පවතින අතර මේ සම්බන්ධ සාකච්ඡා කිරීම සඳහා රට පුරා සිටින සියලු වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඉදිරි දිනක විශේෂ මහා සමුළුවක්‌ පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.

එම සමුළුවේදී ගන්නා තීරණ මත වෘත්තීය අරගල රැල්ලක්‌ ඉදිරි දිනවල බලාපොරොත්තු වන ලෙසටද එම සංගමය රජයට අනතුරු හඟවති.

මේ අතර අධ්‍යාපනය, රටේ සම්පත් මෙන්ම වෘත්තීය අයිතීන් දිනා ගැනීම් සඳහාද ඉදිරි දිනවල වර්ජන හා විරෝධතා රැල්ලක්‌ ගෙන ඒමට සිදුවන බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

බොහෝවිට වෛද්‍යවරුන්ගේ වර්ජන රැල්ලත්, වෘත්තීය සමිති වර්ජන රැල්ලත් ඒකාබද්ධව සිදුකිරීමට ඉඩ ඇතැයිද පැවැසූ ඔවුහු තම ඉල්ලීම් ඉටුකර දීමෙන් මිස මර්දනය මගින් ආණ්‌ඩුවට මෙම වර්ජන රැල්ල නතර කළ නොහැකි බවද කීහ.