හැංගි හැංගි ඇල්ලීම තහනම්

මාර්ගයේ තැන්තැන්වල සැඟව සිට එකවර මාර්ගයට කඩා පනිමින් රථවාහන නඩු ලබා නොගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරින්ට නියෝග නිකුත් කර ඇත.

රථවාහන හා අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඉකුත්දා මෙම නියෝගය දිවයිනේ සියලු ම කොට්ඨාස භාර නිලධාරින් දිස්ත්‍රික් භාර නිලධාරින් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු ම ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙනු ලැබීය.

රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මාර්ගයේ පෙනී සිටීමෙන් ම රථවාහන අනතුරු මෙන් ම අවහිරතාවයන් හා රථවාහන වැරදි වළක්වා ගැනීමට හැකියාව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි. එහෙත් බොහෝ නිලධාරින් සැඟව සිටිමින් එකවර මාර්ගයට පිවිස රථවාහන නැවැත්වීමත් නඩු ලබා ගැනීම් සිදුකරන විට මහජනයාගෙන් බොහෝ අවස්ථාවලදි පැමිණිලි ලැබී ඇති අතර මින් පොලිසියද දෝෂාරෝපණයට ලක්වන බව පෙනී ගොස් ඇති නිසා මේ පිළිබඳ වහා සියලු ම ‍රථවාහන පොලිස් නිලධාරින් දැනුවත් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ පිළිබඳව දැනුම්වත් කර ඇතත් බොහොමයක් නිලධාරින් දිගින් දිගටම මෙසේ සැඟව සිට රථවාහන නඩු ලබාගැනීම සිදුකිරීම් තුළින් පෙනී යන්නේ උසස් නිලධාරින් මේ පිළිබඳ නිසි අධීක්ෂණයක් සිදු නොකරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි. සියලුම නිලධාරින්ට වි‍ෙශ්ෂ උපදෙස් පන්ති පවත්වා මේ පිළිබඳ දැනුවත් කළ යුතු බවත් එම පොලිස් ස්ථාන පිළිබඳ වාර්තාවක් වහා අධ්‍යක්ෂ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව වෙත එවීමට කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර තිබේ.

2016 වසරේ දිවයින පුරා මාරක රිය අනතුරු 2824ක් සිදුවී ඇති අතර බරපතළ තුවාල රිය අනතුරු සංඛ්‍යාව 8148 වේ. අධික වේගයෙන් රිය පැදවීම හැරවීමෙන් සිදුවන අනතුරු, වැරදි ලෙස ඉස්සර කිරීම පදිකයන්ගේ නොසැලකිල්ල ආදි කරුණු මෙම රිය අනතුරු වැඩිවීමට හුදෙක් හේතුවී ඇති අතර අනෙක් රියදුරාට ඇඟිල්ල දිගු නොකොට තමන් නිවැරදිව විනයානුකූලව රිය පැදවීම තුළින් මාර්ග අනතුරු අවම කරගත හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියළුම රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කරයි. ‘පාරට පනින්න එපා’ පොලිසියට නියෝග එයි