ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා T20 තරගය අද

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරග පරාජයෙන් පසුව ජයග්‍රාහී පිපාසයකින් සිටින ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගයට අද (20) දකුණු අප්‍රිකාව සමග සහභාගි වේ. සෙන්චූරියන් හිදී ආරම්භ වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

කණ්‌ඩායම් දෙකම පසුගිය කාලයේදී ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගවලට පදම්වී සිටියද විස්‌සයි විස්‌ස තරගවලට සහභාගි නොවී සිටීම හේතුවෙන් දෙපිලටම මෙම තරගාවලිය නැවුම් අත්දැකීමක්‌ බවට පත්ව තිබේ. දකුණු අප්‍රිකාවේ වේගවත් තණතීරුවල රහස දන්නා ශ්‍රී ලංකා පිතිකරුවෝ ඊට උචිත ලෙස තරගාවලියට සහභාගි වීම ජයග්‍රහණය අනිවාර්ය සාධකයක්‌ බවට පත්ව තිබේ.

අද තරගයේදී දෙපිලේ බහුතරය නවකයන්ගෙන් සැදුම් ලත් වුවත් තරග අත්දැකීම් අතින් ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් පසුවේ. ෆර්හන් බෙහර්දීන්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු පිලට එකදු ජාත්‍යන්තර තරගයක්‌ හෝ ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් හය දෙනකු ඇතුළත් කර තිබීම හේතුවෙන් අද පිටියට පිවිසෙන දකුණු අප්‍රිකානුවන් බහුතරය නවකයන්ගෙන් සමන්විත වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

ටෙස්‌ට්‌ තරග පරාජයෙන් පසුව ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩකයන් නව දෙනකු විස්‌සයි විස්‌ස සංචිතයට ඇතුළත් වූ අතර එහිදී එකදු ජාත්‍යන්තර තරගයකට හෝ ක්‍රීඩා නොකළ තුන් ඉරියව් ක්‍රීඩක තික්‌ෂිල ද සිල්වාට අද බොහෝ විට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිවීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. ඔහු වේගයෙන් පන්දුවට පහර දෙන සහ පන්දු යවන ක්‍රීඩකයකු වීම හේතුවෙන් විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග පිටියට පිවිසීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වනවිට විස්‌සයි විස්‌ස ශ්‍රේණියේදී අංක අට දක්‌වා පහත වැටී ඇති අතර ශ්‍රී ලංකාවට පසු පසින් සිටින්නේ ඇෆ්ගනිස්‌ථාන් කණ්‌ඩායමයි. පාකිස්‌තාන් කණ්‌ඩායම ශ්‍රී ලංකාවට වඩා පියවරක්‌ ඉදිරියෙන් පසුවේ. මේ වන විට විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 94 ක්‌ ලබා ශ්‍රී ලංකාවට පහල වැටී සිටියද දකුණු අප්‍රිකානුවන් ප්‍රසාද ලකුණු 119 ක්‌ සමග තෙවැනි ස්‌ථානයේ පසුවේ. මෙම තරගාවලිය ජය ගැනීමෙන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට කණ්‌ඩායම් දෙකට අවස්‌ථාවක්‌ තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති විස්‌සයි විස්‌ස තරග හයකදී සිව් වරක්‌ම දකුණු අප්‍රිකානුවන් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකාව දෙවරක්‌ පමණක්‌ ජය ගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, තික්‌ෂිල ද සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර, සුරංග ලක්‌මාල්, කුසල් මෙන්ඩිස්‌, සචිත් පතිරණ, සීකුගේ ප්‍රසන්න, ලක්‌ෂාන් සඳකැන්, ඉසුරු උදාන

දකුණු අප්‍රිකා කණ්‌ඩායම

ෆර්හන් බෙහර්දීන් (නායක), දෙයුනිස්‌ ද බෲන්, රීසා හෙන්ද්‍රික්‌, ඉම්රාන් තහීර්, හීනෝ කුහන්, ඩේවිඩ් මිලර්, මන්ගලිෂෝ මොසෙල්, ලූන්ගි නගිදි, වේන් පාර්නෙල්, ඩැනී පීටර්සන්, ඒරොන් පැගින්ෂෝ, අන්දිල් පෙලූක්‌වායෝ, ඡේ. ඡේ. ස්‌මුට්‌ස්‌