Facebook හරහා කාන්තාවන් රැවටු විදේශිකයා මාට්‌ටු

මුහුණු පොතෙන් මිතුරු වී ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් අටලක්‍ෂ හැටපන්දහසක මුදලක්‌ ලබාගෙන වංචා කිරීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කෙරුණු නයිජීරියානු ජාතික තරුණයකුව ලබන 20 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා පසුගියදා නියම කළේය.

සැකකාර නයිජීරියානුවාට කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදුකළ වංචාවක්‌ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ බවත් කොල්ලුපිටිය පොලිසිය සැකකරුව කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ ගම්පහ කොට්‌ඨාස වංචා විමර්ශන අංශය කොටුව අධිකරණයෙන් කළ ඉල්ලීමක්‌ මත සැකකරුව බන්ධනාගාරය මගින් ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවට අධිකරණයේදී සඳහන් විය.

ගම්පහ ඩික්‌මන් පාරේ පදිංචි 29 හැවිරිදි විවාහක කාන්තාවගේ සැමියා විදේශගතව රැකියාවක නිරත බවත් සැකකාර නයිජීරියානුවා ෙෆස්‌බුක්‌ මගින් පැමිණිලිකාරියව හඳුනාගෙන පැමිණිලිකාරියට නයිජීරියානු රටෙන් තෑග්ගක්‌ ලැබී ඇති බවත් එම තෑග්ගේ අඩංගු රත්රන් සඳහා බදු ගෙවීමට අවශ්‍ය යෑයි පවසා විටින් විට ලංකාවේ බැංකු දෙකකට අදාළ ගිණුම් දෙකකට මෙසේ මුදල් බැර කරගෙන ඇති බවට පොලිසිය නඩුව කැඳවූ අවස්‌ථාවේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

ගම්පහ කොට්‌ඨාස වංචා විමර්ශන අංශයේ සැරයන් චන්දන (25410) සහ කොස්‌තාපල් ගුණසේකර (66319) යන නිලධාරීන් එම නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ල මෙහෙයවමින් පැමිණිලිකාරිය මුදල් තැන්පත් කළ බැංකුවල ගිණුම් විස්‌තර ලබාදෙන ලෙස එම බැංකු කළමනාකරුවන්ට නියෝගයක්‌ ලබාදෙන ලෙසත් සැකකරුගෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීම සඳහා පොලිසියට අවසර ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළේය.

එම ඉල්ලීම් දෙකට අවසර ලබාදුන් මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුගෙන් සිංහල භාෂාව තේරෙනවාදැයි ප්‍රශ්න කර සිටියද සැකකරු ඊට කිසිදු පිළිතුරක්‌ ලබා නොදුන් අතර නඩුව විභාගයේදී භාෂා පරිවර්තකයකු නොමැති වුවහොත් ගැටලු උදාවිය හැකි බව මහෙස්‌ත්‍රාත්වරයා පොලිස්‌ නිලධාරීන් අමතා විවෘත අධිකරණයේදී පැවසීය.

සැකකරුට කිසිදු නීතිඥ සහායක්‌ නොතිබූ අතර සැකකරු මුහුණු පොතෙන් මිතුරු වී ලංකාවේ පදිංචිව සිටිමින් කාන්තාවන් රැසක්‌ සමඟ මිතුරු වී මුදල් වංචා රැසක්‌ සිදුකර ඇති බවට ද අධිකරණයේදී සඳහන් විය.