උසේන් බෝල්ට්ට රන් පදක්කමක් අහිමි වෙයි

ඔලිම්පික් රන් පදක්කම් 9 ක හිමිකරු වූ ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට එක් රන් පදක්කමක් නැවත භාරදීමට සිදුව තිබේ.

ඒ 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට ඔහු සමගින් සහභාගීවූ ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක භාවිත කළ බවට තහවුරු වීම හෙතුවෙනි.

2008 බීජි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ජැමෙයිකා කණ්ඩායම නියෝජනය කරමින් ධාවනයේ යෙදුනු නෙස්ටාර් කාටර් මෙසේ තහනම් උත්තේජක භාවිත කර ඇති බවට තහවුරුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ජැමෙයිකාවට එහි රන් පදක්කම අහිමිවීම හේතුවෙන්, මලල ක්‍රීඩවෙන් ඔලිම්පික් රන් පදක්කම් 9 ක් ලබාගත් පළමු ක්‍රීඩකයා වීමේ දුර්ලභ අවස්ථාව උසේන් බෝල්ට්ට අහිමිවේ.

බෝල්ට්, 2008 වසරේදී මීටර්100 හා 200 ඉසව්වල දී රන් පදක්කම් හිමිකරගත් අතර, මීටර් 100 සහාය දිවීමේ රන් පදක්කම දිනාගත් ජැමෙයිකා කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය. එසේම 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මෙන්ම, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදීද ඉහත ඉසව්වල රන් පදක්කම් හිමිකරගත්තේ, උසේන් බෝල්ට්.

නමුත්, මේ වනවිට උද්ගතව ඇති තත්වය හමුවේ, උසේන් බෝල්ට් ට රන් පදක්කම් 8 කින් සෑහීමට පත්වීමට සිදුවේ.

2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහාය දිවීමේ පිරිමි රිදී පදක්කම දිනාගත් ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ කණ්ඩායමට, ඒ අනුව රන් පදක්කම හිමිවන අතර, ජපානයට රිදී පදක්කමත්, සිව්වැනි ස්ථානයට පත්වූ බ්‍රසීලයට ලෝකඩ පදක්කමත් හිමිවීමට නියමිත වේ.

බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී නියැදි 4500 කට අධිප ප්‍රමාණයක් පරික්ෂාවට ලක්කල අතර, ඉන් වැරදි කරුවන් වූයේ 9 දෙනෙකු පමණි. කෙසේ වෙතත්, ඉන් නියැදි 454 ක් නවීන පහසුකම් යටතේ පරීක්ෂා කිරීමට ගත් තීරණය අනුව නෙස්ටාර් කාටර්ගේ නියැදියද පසුගිය වසරේ පරික්ෂාවට ලක්කර ඇත.

එහිදී ඔහු තහනම් උත්තේජක භාවිත කර ඇති බව තහවුරුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.