අදටත් මගේ නායකයා මහින්ද

තමා කොයි මොහොතක හෝ නැවත දේශපාලනයට අවතීර්ණ වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟින් පමණක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නැඟෙනහිර හිටපු සන්නද්ධ නායක විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන න්‍යායට හෝ ඔහු සමඟ දේශපාලනය කිරීමට හෝ තමා කිසිසේත්ම එකඟ නොවන බවත් ඔහු යටතේ මෙරට සිදුවූ විශාලතම මූල්‍ය හොරකම වූ මහ බැංකු බැඳුම්කර වංචාවද ඉතිහාසගත වී හමාර බවත් මුරලිදරන් මහතා කියයි.

විශේෂයෙන්ම මේ වන විට ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් පවතින අතර තව පැත්තකින් ජනතාවට පනවා ඇති බදු, දඩ සහ සහනාධාර කප්පාදුව නිසා විශාල පීඩනයකට ලක්ව ඇති බව පෙන්වා දෙන ඒ මහතා, පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ නොවූ ආකාරයේ මෙරට ආරක්ෂාව පිළිබඳ ප්‍රබල ප්‍රශ්නයක්, මහින්ද රාජපක්ෂ මහතා යටතේ නොතිබූ ප්‍රබල ආර්ථික පීඩනයක් මේ මොහොතේ පවතින බවයි.

මුරලිදරන් මහතා හෙළි කර සිටියේ තමාට ආණ්ඩුවේ කිහිප දෙනකු දේශපාලනයට පිවිසීමට ආරාධනා කර තිබූ බවය.

කවුරු කුමන ප්‍රචාරයක් ගෙන ගියද අදටත් තමාගේ දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු සමඟ කළ දේශපාලනය යටතේ රට මේ ආකාරයට බංකොළොත් වීමට ඉඩ නොතිබූ බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙරට ත්‍රස්තවාදය නිම කිරීමට සහයෝගය දුන් පුද්ගලයකු හැටියට නැවත මේ රට එවැනි තැනකට පත් කිරීමට ඉඩ දිය යුතු නැති බැවින් විශේෂයෙන් රටේ නායකයන් ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවද හෙතෙම කීය.