මුදල් ඇමති රවීගේ ප්‍රකාශය වැරදියි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන විගණන වාර්තා සම්බන්ධයෙන් සිදුකරණ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බැඳුම්කර සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි පූර්ණ වාර්තාවක් මුදල් ඇමතිවරයාට ලබා නොදී එය කෝප් කමිටුවට ලබා දී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා චෝදනා කළ අතර ඊට පිළිතුරු දෙමින් විගණකාධිපතිවරයා පවසන්නේ එම ප්‍රකාශය අසත්‍යයක් බවය.

එම වාර්තාව ජනවාරි 17වනදා මුදල් ඇමතිවරයාට ලබාදුන් බවත් එහි පිටපතක් කෝප් කමිටුවේ සභාපතිවරයාටද ලබාදුන් බවත් පවසන විගණකාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ මුදල් අමාත්‍යරයාට එය ලැබුණු බවට ලිකිතව තමන් වෙත ලැබී ඇති බවය. එය රහස්‍ය වාර්තාවක් නොවන බැවින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේද ඇති බවත් විගණකාධිපතිවරයා සඳහන් කරයි.
පසුගිය 25වනදා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ "මේ විගණකාධිපති හිතුමතේ, තමන්ගේ කාර්යභාරය ඉක්මවා ගිහිල්ලා කටයුතු කරලා තියෙනව කියන එක පේන්න තියන සාධකයක්. මේක අහන දේට උත්තර දෙන්නේ නැතිව වෙනින් තැනකට ගිහිල්ල උත්තර දෙනවා," යනුවෙනි. 
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයේ විනිවිද පෙනෙන සුළු ස්වභාවය ප්‍රවර්ධනය කිරීම පිණිස ක්‍රියාකරන සිය ආයතනයට, සිය වාර්තාවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් තමන් ඒ මොහොතේම එම වාර්තාව සිය නිල වෙබ් අඩවියේද ප්‍රකාශයට පත්කළ බව ය.
මූලාශ්‍ර බීබීසී