සමාව ගන්න රන්ජන්ට කල් දෙයි

සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබඳව ලබන සිකුරාදා (03 දා) වන විට සමාව ගැනීම හෝ ඉල්ලා අස්‌කර ගැනීම සිදු නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය හා සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම්වරිය ඊයේ (30 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. මෙහිදී ජනාධිපතිවරයා මෙන්ම රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ද සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බවත්, නියෝජ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය වැරදි බව පිළිගත් බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

ප්‍රාදේශීය ලේකම්වරියට හොරෙක්‌ යෑයි ඇමතීම, ඇය සිය නිවස සාදන්නේ සොරකම් කළ මුදලින් යෑයි පැවසීම තම සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සභාපතිවරයා පැවසීය.

"හෙණගහපන්" යෑයි පැවසීමට තරම් නියෝජ්‍ය ඇමැතිවරයා පහත් මට්‌ටමට වැටී ඇතැයි කී සභාපතිවරයා එම ප්‍රකාශ ඉවත් කර ගැනීම හෝ ඒ සම්බන්ධව සමාව ගැනීම ලබන 3 දාට පෙර නොකළ හොත් එදින සංගමයේ විධායක සභාව රැස්‌වී දැඩි තීරණයක්‌ ගන්නා බවද පැවසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා අදාළ කාරණයට මැදිහත් වීම ගැන ගැටලුවක්‌ නැතැයි ද, එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරියගේ අඩුපාඩුවක්‌ නැති මුත් එවැනි ප්‍රශ්නයක්‌ තිබේ නම් ඒ ගැන නීත්‍යානුකූල ක්‍රමවේද තිබියදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ ආකාරයට හැසිරීම දැඩි ප්‍රශ්නකාරී යෑයි ද ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.