සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් පියංකර දොට්ට

පුත්තලම දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාගේ අත්සනින් යුතු ලිපියක්‌ මගින් මේ පිළිබඳව දැනුම් දී ඇති අතර පුත්තලම දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට ද අදාළ ලිපියේ පිටපතක්‌ යොමු කර තිබේ.2010 වසරේ සිට පුත්තලම දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දැරූ පියංකර ජයරත්න මහතා යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එහි සම සභාපති ලෙස පත් කෙරිණි.

දෙසැම්බර් තිස්‌වැනිදා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌ වූ පියංකර ජයරත්න මහතා ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ අසුන් ගත්තේය. පියංකර ජයරත්න මහතා වෙනුවෙන් පුත්තලම දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරයට මෙතෙක්‌ කිසිවකු පත් කර නැත. මේ සම්බන්ධයෙන් පියංකර ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාගේ අත්සනින් යුතුව Fax පණිවුඩයක්‌ මගින් මා ඉවත් කර තිබෙන බව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයෙන් දැනුම් දුන්නා.

මට ඒ ලිපිය අද (30 වැනිදා) ලැබේවි. මම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ මේ සියලුම දේවල් අහිමි වන බව දැනගෙනයි. ඒවා අහිමි වුණාට ජනතාව මා සමඟ ඉන්නවා ඒක මට ඇති."