උදාවන සතියේ ලග්න පලාපල

මේෂ

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ, සිකුරු සමඟ දොළොස්‌වැන්නේද, සඳු එකොළොස්‌ වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට ගෘහ ජීවිතයේ සාර්ථක බවක්‌ පෙන්වයි. නමුත් නිතර නිවසින් බැහැරව යැමට ද සිදු වෙනවා ඇත. විදේශ ගමන් පිළිබඳව තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක කරගැනීමට පහසුකම් සැලසේ. සතිය මැද වන විට ගෙදර වැඩිහිටියකුට අපලයක්‌ පෙන්වයි. දරුවන්ගේ දියුණුව පිළිබඳව කරන කටයුතුවලට රාජ්‍ය අංශයේ හෝ උසස්‌ අයගේ උදව් උපකාර ලබාගත හැකිය. රැකියා හා ව්‍යාපාරවල තත්ත්වයේ උසස්‌වීමකට ඉඩ තිබේ. නීතියේ පිහිට ලැබිය හැකි සතියකි. බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යෙදේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. මංගල යෝජනාවලට තරමක බාධා පවතිනු ඇත.

සුබ පාට - සුදු, සුබ අංක - 1.

වෘෂභ

සිකුරු කුජ සමඟ එකොළොස්‌ වැන්නේද සඳු දහවැන්නේද ගෝචරව හැසිරෙමින් උදාවන මෙම සතිය ආරම්භයේ දී ආදායම් පිළිබඳව සතුටුදායක තත්ත්වයක්‌ පෙන්වයි. අලුත් මිතුරු මිතුරියන් හඳුනාගැනීමට අවස්‌ථාව උදාවේ. අවිවාහක අයට මංගල යෝග යෙදෙනවා ඇත. හිතවත් මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගතවේ. අධ්‍යාපන කටයුතුවලට බාධා වන අයුරින් සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. ස්‌නායුගත රෝග ඇති අය විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න. මේ සතියේ ඔබේ තැන්පත් ධනය වැය වන තරමට පවුලේ වියදම් ද ඉහළ යන බව ද පෙන්වයි. අනවශ්‍ය වියදම් පාලනය කරගැනීමට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. සෙනසුරු දශා විශේෂයි.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංක - 6.

මිථුන

ඔබගේ ලග්නාධිපති බුධ ශනි සමග හත්වැන්නේද සඳු නමවැන්නේ ද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව පෙන්වන්නේ මිශ්‍රපලදායක තත්ත්වයකි. අසල්වැසියකු සමඟ මතභේදයක්‌ ඇතිවීමට ඉඩ තිබේ. විනෝද චාරිකාවක්‌ යැමටද කරුණු යෙදේ. රැකියා හා ව්‍යාපාර අංශවල සතුටින් කාලය ගතවේ. ව්‍යාපාර කරන අයට ආදායම් සතුටුදායක වේ. එහෙත් ලිපි ලේඛනවලට අත්සන් තබන විට දුර දිග බලා කටයුතු කරන්න. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට ද සුබ කාලයකි. දරුවන්ගේ දියුqණුවට කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල ලැබේ. යටි බඩේ ඌෂ්ණාධික රෝග රුධිර පීඩනය ඇති අය ප්‍රවේශම් වෙන්න. රවි දශා විශේෂයි.

සුබ පාට - ලා කොළ, සුබ අංක - 4.

කටක

රවි හත්වැන්නේ ද ලග්නාධිපති සඳු අටවැන්නේ ද ගමන් කරද්දී සතිය ආරම්භ වේ. සිත් තැවුලක්‌ ඇතිවීමට සතියේ ආරම්භයේදී කරුණු යෙදෙන බව පෙන්වයි. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටළුද ඇතිවීමට හේතු තිබේ. වතුරෙන් ප්‍රවේශම් වෙන්න. උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ සුබපල ලැබේ. ආගමික උත්සවයකට සහභාගිවීමට හැකි වේ. උසස්‌ ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. දුර වන්දනා ගමන් යෙදේ. සතිය අග වන විට බාධා මඟහැරී ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. කේතු දශා ගතකරන අය ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

සුබ පාට - කහ, සුබ අංක - 5.

සිංහ

සඳු කේතු සමග හත්වැන්නේද ඔබගේ ලග්නාධිපති රවි හයවැන්නේද සිටිමින් සතිය ආරම්භ වේ. අන් අය ගැනත්, සුරතල් සතුන් ගැනත් විශේෂ කරුණාවක්‌ හා සැලකිල්ලක්‌ ඇතිවන සතිය ආරම්භය ඔබට මිශ්‍රපලදායකය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබාගැනීමට පහසුකම් සැලසේ. උත්සාහය ධෛර්යය ඉහළ යයි. සතුරු කරදර පරාජයට පත්කර ගැනීමටද හැකියාව ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. එහෙත් නිවාස ඉදිකිරීම් වැනි කටයුතුවලට බාධා පවතින බව පෙනේ. පවුලේ වියදම් ඉහළ යයි. ක්‍ෂණික කෝපය කලබලවීම නිසා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. හදිසි අනතුරුවලින්ද ප්‍රවේශම් වෙන්න. මංගල යෝජනාවලට සුබ කාලයක්‌ නොවන බව පෙනේ.

සුබ පාට - දිලෙන සුදු, සුබ අංක - 1.

කන්‍යා

ඔබගේ ලග්නාධිපති බුධ, ශනි සමග හතරවැන්නේ ද සඳු ග්‍රහයා හයවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භය ගෘහ ජීවිතය සුබදායක බවක්‌ පෙන්වයි. බිරිඳ හෝ සැමියා සමග තිබූ අමනාපකම් දුරුවේ. අඹු-සැමි සමගිය ඇතිවේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ලාභ පාඩු ගැන නොසිතා අපක්‌ෂපාතීව තීරණ ගන්නට පෙලඹේ. දරුවන්ටද සුබපලදායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. පෙම්වතා හෝ පෙම්වතිය අමනාප වීමට ඉඩ තිබේ. මංගල යෝජනාවලට තරමක බාධා පවතී. මේ අතර විදේශ ගමන්වලට පහසුකම් සැලසෙනවා ඇත. ආගමට දහමට හිත යොමු වේ.

සුබ පාට - කොළ, කහ - සුබ අංක - 4, 5.

තුලා

සිකුරු කුජ සමග හයවැන්නේද සඳු පස්‌වැන්නේද ගමන් කරමින් සතිය උදාවේ. සතිය ආරම්භයේදීම ගෘහ ජීවිතය පිළිබඳව සිත් තැවුලක්‌ ඇතිවීමට ඉඩ තිබේ. පදිංචිය පිළිබඳව නීතිමය ගැටලුවක්‌ විසඳා ගැනීමට හැකි වේ. සතුරු කරදරයක්‌ නිසා සිත් තැවුලක්‌ ඇතිවීමට ඉඩ තිබේ. අසනීපයක්‌ වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදුවේ. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කරගැනීමට පහසුකම් සැලසේ. ගෙදර සුරතල් සතුන් ගැන වැඩියෙන් සැලකිල්ල යොමු වනවා ඇත. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබාගැනීමට පහසුකම් සැලසේ. බිරිඳ හෝ සැමියා අමනාප වීමටද ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.

සුබ පාට - මිශ්‍ර ලා, සුදු, සුබ අංක - 6, 2.

වෘශ්චික

ලග්නාධිපති කුජ, සිකුරු සමඟ පස්‌වැන්නේද සඳු හතරවැන්නේද රාහු දහවැන්නේද ගමන් කරමින් සෙනසුරු මාරුවෙන් පසුව උදාවන මෙම සතිය ඔබට සුබදායක බවක්‌ පෙන්වයි. සතිය ආරම්භයේදී ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කරගැනීමට හැකි වනවා ඇත. මව්පියන්ට සුබදායකයි. විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්‌ථිර වීමට කරුණු යෙදේ. නව ව්‍යාපාර ආරම්භයට සුබ නැකත් යෙදේ. මුදල් අයෝජනයෙන් ලාභ ලැබේ. රූපලාවන්‍ය හා සෞන්දර්ය අංශයේ රැකියාවල නියුතු අයට විශේෂ සුබපල ලැබේ. රැකියා හා ව්‍යාපාර සතුටුදායක තත්ත්වයක පවතී.

සුබ පාට - සුදු, සුබ අංක - 1, 2.

ධනු

ශනි සමඟ බුධ ලග්නයේද, සඳු ග්‍රහයා තුන්වැන්නේ ද ලග්නාධිපති ගුරු දහවැන්නේද ගමන් කරමින් සතිය ආරම්භ වේ. සතිය ආරම්භයේදී දියුණුව වෙනුවෙන් කරන කටයුතු සඳහා නිතර නිවසින් බැහැරව යැමට සිදු වේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගතවේ. ආදායම් සතුටුදායකයි. නව නිවාස ඉදිකිරීම් හා ගෙදර දියුණුවට කරන වැඩවලට තිබූ බාධා ඉවත් වේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමටද සුබයි. වාහන ගනුදෙනුවලටද සුබයි. දරුවකුගේ විදේශ ගමනක්‌ සාර්ථක කර ගැනීමට හැකි වේ. සතිය මුලදී ලිපි ලේඛනවලට අත්සන් තැබීමේදී දුර දිග බලා කටයුතු කරන්න.

සුබ පාට - කහ, දිලෙන සුදු, සුබ අංක - 1, 5.

මකර

ලග්නාධිපති ශනි, බුධ සමඟ දොළොස්‌ වැන්නේද, ලග්නයේ සඳු හා රවි සිටිද්දී උදාවන මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව සතුටුදායක තත්ත්වයක්‌ පෙන්වයි. අසල්වාසීන් සමඟ පවතින සුහදතාව වර්ධනය වේ. බාල සහෝදරයකුගේ දියුණුවක්‌ ගැන අසන්නට ලැබේ. උත්සාහයේ තරමටම ප්‍රතිඵල ලැබේ. ප්‍රතිඵලදායක ගමන් බිමන් නිතර යෙදේ. ආදායම සතුටුදායකයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු දැක සතුටු විය හැක. ලොතරැයි දිනුමක්‌ හෝ හදිසි ධන ලාභයක්‌ ලැබීමටද ඉඩ තිබේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක බාධා පවතී. හිසේ ඌෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට - කහ, සුදු, සුබ අංක - 2, 5.

කුම්භ

කේතු ලග්නයේද ලග්නාධිපති ශනි, බුධ සමඟ එකොළොස්‌ වැන්නේද, සඳු සමග රවි දොළොස්‌වැන්නේද ගමන් කරයි. සතිය ආරම්භයේදී දරුවකුගේ රැකියා ප්‍රශ්නයකට විඳුමක්‌ ලැබේ. බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යෙදේ. මංගල යෝජනාවලට බාධා පවතී. වියදම් ඉහළ යයි. තැන්පත් ධනය පවා වැයවීමට ඉඩ තිබේ. එහෙත් ආදායම සතුටුදායකයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන කුම්භ හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. හවුල් ව්‍යාපාරවලින් පාඩු ලැබීමට ඉඩ තිබේ. හිසේ සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය හැකියි. වතුරෙන් ප්‍රවේශම් වන්න.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංක - 6.

මීන

ඔබගේ ලග්නාධිපති ගුරු හත්වැන්නේද, ශනි බුධ දහවැන්නේ ද, සඳු ග්‍රහයා රවි සමඟ එකොළොස්‌වැන්නේ ද ගමන් කරමින් සතිය උදාවේ. ගෘහ ජීවිතය සතුටින් ගතවනවා ඇත. ස්‌වයං රැකියා හෝ ගෘහාශ්‍රිත ව්‍යාපාර කරන අයට ලාභ ලැබේ. නීතිමය ප්‍රශ්නයකට විසඳුම් ලබාගත හැකි වේ. රැකියා හෝ ව්‍යාපාරවලට උසස්‌ අයගේ විශේෂ අනුග්‍රහය ලබාගත හැකි වේ. දරුවකුගේ විදේශ ගමනක්‌ සාර්ථක වේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීමක්‌ දක්‌නට ලැබේ. විවාහ සහකරුට සුබපලදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනාවලට සති අන්තය සුබයි.

සුබ පාට - කහ, සුබ අංක - 5.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්