කැලණිය දුරුතු මහා පෙරහර 90 වැනි වරටත්

ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය මගින් බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන සිහි කිරීම සඳහා වාර්ෂිකව පවත්වන දුරුතු මහා පෙරහර මෙවර ජනවාරි 08,09,10 සහ 11 යන දින හතරතුළ සිරිත් පරිදි රාත්‍රී 8ට 90 වෙනි වරට පැවැත්වේ.මේ පෙරහර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් බව කැලණි රජමහා විහාරාධිපති මහාචාර්යය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවැසූහ.

සුපුරුදු පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් දායක සභාවේ සංවිධානයෙන් සිදු කෙරෙන මේ පෙරහර වෙනුවෙන් විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල දායකත්වය මෙවරද ලැබෙන බව නා හිමියෝ පැවැසූහ.

තායිලන්ත රජ්ජුරුවන් විසින් කැළණි රජමහා විහාරස්ථානයට දායාද කළ කණ්ඩුල හස්ති රාජයාගේ විසින් සධාතුක කඬුව වැඩමවාලනු ලබන අතර ඊට අමතරව අලිඇතුන් 50ක් පමණ පෙරහර වෙනුවෙන් සහභාගී කරවන බව කීහ . උඩරට,පහතරට, සබරගමු සහ ද්‍රවිඩ සම්ප්‍රදායේ නැටුම් කණ්ඩායම් සහභාගී කරවන මේ පෙරහර සඳහා නැටුම් කණ්ඩායම් 60ක් සහභාගී වෙන බවත් ශිල්පීන් 3400ක් පමණ එක්වෙනු ඇති බවත් නාහිමියෝ කීහ.

සිරිතක් ලෙස පෙරහැර කටයුතු සංවිධානය වෙනුවෙන් ගම්පහ දිසාපති ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු,සංස්ථා, මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කරගෙන ජල,විදුලි,ප්‍රථමාධාර,ආරක්ෂාව සහ බැතිමතුන් වෙනුවෙන් මිළ පාලනයක් සිදු කිරීම ඇතුළු පහසුකම් සපුරා ඇතැයිද කීහ.

විදේශිකයන් සදහා පන්සල අවට වෙනම වෙන්වූ ස්ථානයක් සූදානම් කර ඇතැයි කී නාහිමියෝ ඔවුන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා එයාර් ලයින්ස්,විදේශ කටයුතු අමාත්‍යාංශය,කැළණි විහාරස්ථානය සහ සංචාරක නිකේතන වලින් ලබාගැනීමට පහසුකම් සපයා ඇතැයිද කීය.ඊට අමතරව සංචාරක හෝටල් වල පෝස්ටර් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව අනාවරණය කළ නාහිමියෝ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලාංකිකයින්ටද ලබා ගැනීමට අවකාශ සලසා ඇතැයිද කීය.

වර්ෂ 1927 ආරම්භ කළ මේ පෙරහර මාපිටිගම ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හෙලේනා ළමා තැනීගේ මග පෙන්වීම මත සිදුකළ බව ඉතිහාසය සදහන් කරන බව කී නාහිමියෝ එදා සිට අද දක්වා වාර්ෂිකව මේ දුරුතු පෙරහර අඛණ්ඩව පවත්වාගෙන ආ බවත් කීහ.

තමා 1991 වසරේ සිට පෙරහරේ වගකීම දරා ඇතැයි කී නාහිමියෝ 1992 විහාරාධිපතිවී වසර 13ක් කාලයක් තුළ කැළණි රජමහා විහාරස්ථානයේ පෙරහර ඉතා සංවිධානාත්මකව සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු මෙහෙයවූ බවද කීහ

මෙවර පෙරහර සදහා විශේෂ රථ වාහන සැලැස්මක් පවත්වන බව කී නාහිමියෝ ඒ සදහා පොලිස් නිළධාරීන් 500ක් පමණ සහභාගීවීමට නියමිත බවත් කීහ.