රවි ගෙන් රුපියල් 40ටත් ලොතරැයියක්

ලොතරැයිය රුපියල් 20ට සහ 40 ට යන මිල ගණන් දෙකකට අලෙවි කිරිමට බලා‍පොරොත්තු වන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) ප්‍රකාශ කළේය.රුපියල් 20ට අලෙවිකරණ ලොතරැයියට වඩා දෙගුණයක තෑගි ප්‍රමාණයක් රුපියල් 40 ක ලොතරැයියට ලබාදීමට කටයුතු කරනා බවද සඳහන් කළ ඇමැතිවරයා එම යෝජනාව ජනාධිපතිට හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවසරය ලබාගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

ලොතරැයි ක්‍රමය නවීකරණය කිරීමට සූදානමක් ඇතත් ඔන්ලයින් ලොතරැයි ක්‍රමයක් හදුන්වාදීමට රජය කටයුතු කරන්නේ නැතැයිද රවි කරුණානායක මහතා කීවේය. ඔන්ලයින් ලොතරැයිය හඳුන්වා දුන්නේ ගිය රජය යටතේ බවද ඒ මහතා කීවේය.

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය බංකොළොත් කොට බාර දුන් බවත් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන් කාරණය අපි ඉටු කරමින් සිටිනා බවත් ඒ මහතා පැවැසීය. සියයට 52 ක් ජයග්‍රහණයක් වෙනුවෙන් දෙන්න අවශ්‍යවන අතර මිලියන 20 ක් ජනාධිපති අරමුදලට දෙන බවද ප්‍රකාශ කළේය.

රුපියල් 30 ට වැඩි කළ ලොතරැයිය රුපියල් 20 දක්වා යළි අඩු කිරිමට ජනාධිපතිවරයා ගත් තීන්දුව අබිබවා යාමට තමන්ට කිසිම හැකියාවක් නැති බවද කීවේය. “තාවකාලිකව වෙනසක් කරන්නයි ජනාධිපතිතුමාට ඕන වුනේ යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ලොතරැයි පත රුපියල් විස්ස දක්වා යළි අඩු කරන ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීම වෙනස් කිරිමට තමන්ට අවශ්‍යතාවක් නැතැයිද ඇමැතිවරයා සභාව කල් තැබිමේ යෝජනා විවාදයට එක් වෙමින් කීවේය. ලොතරැයි පතක මිල රුපියල් 20 දක්වා අඩු කරන ලෙසට ජනාධිපතිවරයා කළ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසට බන්දුල ගුණවර්ධන මහතා සභාව කල් තැබිමේ යෝජනාව ඉදිරිපත් කරමින් කීවේය.