කෝටි 11 ක්‌ සමග රේගුවට මාට්ටු

රුපියල් කෝටි එකොළහක් වටිනා දේශීය හා විදේශීය මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන ඩුබායි බලා ගමන් කිරීමට පැමිණි ශ්‍රී ලාංකිකයකු ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මුදල් තොගයේ රුපියල් කෝටියක් වටිනා ශ්‍රී ලංකා මුදල් , ඇමෙරිකානු ඩොලර් , යුරෝ, නෝවේජියානු ට්‍රෝනර්, ස්විස් ප්‍රෑන්ක් , සවුදි රියාල් , කටාර් රියාල් යන විදේශීය රටවල මුදල් තිබු බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසිය.

නීති විරෝධී ලෙස විදේශීය මුදල් රැගෙන ගුවන් තොටුපලින් පිට කිරීමට තැත්කළ ශ්‍රී ලාංකිකයා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව රේගු නිලධාරීහු පවසති. යු.එල් 225 දරණ ගුවන් යානයෙන් පෙරේදා සවස හයයි හතලිහට පමණ ඩුබායි බලා ගමන් කිරීමට පැමිණි පුද්ගලයාගේ එළවළු බෑගයක පතුලේ සගවා තිබියදි මේ මුදල් තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත. රේගු නිලධාරීන් මේ වසරේ මෙවැනි ශ්‍රී ලංකා මුදල් තොගයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව වන අතර වැඩිම මුදල් තොගය බවත් බස්නායක මහතා පවසයි. අත්අඩංගුවට ගත් මුදල් තොගය පිළිබඳ රේගු අධ්‍යක්ෂ රෝහිත උඩුවාවල මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන පරාක්‍රම බස්නායක, මහේන්ද්‍ර අර්තනායක මහත්වරු පරීක්ෂණ පවත්වති. පරීක්ෂණය අවසානයේ ව්‍යාපාරිකයාට දඩුවම් පැමිණවීම හා මුදල් තොගය රාජසන්තක කිරීමට නියමිතය. රේගු අධිකාරී බෝපගේ දයාරත්න මහතා මෙම වැටලීම සිදු කොට ඇත.