අධික තරබාරුව මට්‌ටු කරන හැටි

තරබාරු පුද්ගලයකුට තම සිරුරේ බර ඉතා ඉක්‌මනින් අඩු කරගත හැකි ප්‍රතිකාරයක්‌ ඇත්නම් එම තැනැත්තා වහාම එම ප්‍රතිකාරය සඳහා යොමුවනු ඇත.

නමුත් ගැටලුව වී ඇත්තේ එවැනි ප්‍රතිකාර ක්‍රම නොමැතිකමය.

තරබාරු අයකු හඳුනා ගන්නේ කෙසේද?

යම් පුද්ගලයකුගේ ශරීර බර තීරණය කරනු ලබන්නේ දේහ ස්‌කන්ධ දර්ශකය අනුවය. ඒ අනුව යම් පුද්ගලයකුගේ දේහ ස්‌කන්ධ දර්ශක අගය 18.5 ත් 24 ත් අතර පවතී නම් එම පුද්ගලයාගේ ශරීර බර සාමාන්‍ය අගයක පවතී.

දේහ ස්‌කන්ධ දර්ශක අගය 24.5 ත් 29.2 ත් අතර පවතී නම් එම පුද්ගලයාගේ බර සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිය.

දේහ ස්‌කන්ධ දර්ශක අගය 30 නම් එම පුද්ගලයා තරබාරුවෙන් පෙළේ.

දේහ ස්‌කන්ධ දර්ශක අගය 40 නම් එම තැනැත්තා අධික තරබාරු අයෙකි.

දකුණු ආසියාවේ ජීවත් වන අපගේ ශරීර ස්‌කන්ධ දර්ශක අගය තිබිය යුත්තේ 22 අගයෙහිය. ඊට වැඩි නම් අපගේ ශරීර බර වැඩිය.

තරබාරු බව ඇති වන්නේ කෙසේද?

තරබාරුව සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපගේ ජීවන රටාවේ පවතින අක්‍රමවත් බවය.

මේදය අධික ආහාරපාන ගැනීම, ව්‍යායාමවල නොයෙදීම, කය වෙහෙසවා වැඩ කටයුතු නොකිරීම, මත්පැන් පානය ඉක්‌මනින් ජීර්ණය වන පිටි සහිත ආහාර වර්ග ගැනීම, ඉතා ඉක්‌මනින් ආහාර වේලක්‌ ගෙන අවසන් කිරීම, රසකාරක වර්ග යෙදූ ක්‌ෂණික ආහාර වර්ග බහුලව ආහාරයට ගැනීම වැනි හේතු නිසා තරබාරුව ඇතිවේ.

මෙවැනි හේතුවලට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන අසමතුලිත බව, නින්ද අඩු බව, ජානමය හේතු නිසාද තරබාරු බව ඇතිවේ.

තරබාරුව අඩු කර ගන්නේ කෙසේද?

තරබාරු බව අඩු කරගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස්‌ අනුවය. එහිදී තරබාරුවට බලපා ඇති හේතුව පළමුව හඳුනාගත යුතුය. ඉන්පසු ඊට නිසි ප්‍රතිකාර ලබාදිය යුතුය.

හිතුමතේ ආහාර පාන පාලනය කරමින් දවසේ ප්‍රධාන ආහාර වේල් තුන වන උදේ, දවල් සහ රාත්‍රි ආහාර අඩු කරමින් තරබාරුව පාලනය කිරීමට උත්සාහ ගැනීම නිවැරදි ක්‍රමයක්‌ නොවේ. ඉන් තරබාරුව අඩු කිරීමට ගොස්‌ වෙනත් රෝගවලට ගොදුරු විය හැකිය. විශේෂයෙන්ම නීරක්‌තය ඇති වී ශරීරය දුර්වල වීම නිසා ආසාදන රෝගවලට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩිය.

ඇතැම් දෙනා රාත්‍රි ආහාර වේල නොගෙන ඒ වෙනුවට මෝල්ට්‌ පාන වර්ගයක්‌ ගැනීමට හුරුව සිටිති. සාමාන්‍යයෙන් රාත්‍රියට ගනු ලබන ආහාර වේලෙහි ඇති කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක්‌ මෙම මෝල්ට්‌ පානය තුළ තිබේ. ඉන් සිදු වන්නේ ආහාර පාලනයට ගොස්‌ වැඩි කැලරි ප්‍රමාණයක්‌ ශරීරයට එක්‌වී තවත් තරබාරු වීමය. ඊට අමතරව මෙම පාන වර්ගවල ඇති අධික සීනි ප්‍රමාණය නිසා දියවැඩියාව රෝගයට ගොදුරු වීමය.

නිසි වෛද්‍ය උපදෙස්‌ මත ආහාර පාලනය කරමින් දිනකට අඩුම තරමින් විනාඩි 20 ක්‌වත් ඇවිදීම, දිවීම, පිහිනීම වැනි ක්‍රීඩාවක නිරත වීමෙන් තරබාරුව අඩු කරගත හැකිය.

ඇඳුම් මැදීම සහ ඇරොබික්‌ ව්‍යායාමද තරබාරුව අඩු කර ගැනීම සඳහා සුදුසු ව්‍යායාමවේ..

එසේම මසකට වරක්‌ වෛද්‍ය උපදෙස්‌ මත බඩ විරේකයක්‌ ලබා ගැනීම තුළින්ද තරබාරුව අඩු කරගත හැකිය.

තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන අසමතුලිතව පවතී නම් ඊට නිසි වෛද්‍ය උපදෙස්‌ මත ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම තුළින් එවැනි හෝමෝන අසමතුලිත බව නිසා ඇති වන තරබාරුව අඩු කරගත හැකිය.

තරබාරුව නිසා ඇති වන අතුරු ආබාධ මොනවාද?

තරබාරු පුද්ගලයන් ඉතා පහසුවෙන් දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා, පිත්තාශ ගල්, ඇදුම වැනි රෝගවලට ගොදුරු විය හැකිය.

රාත්‍රියට නින්දේදී හුස්‌ම ගැනීමේ අපහසුතා මතුවේ. ඉන් රාත්‍රියට සුවබර නින්දක්‌ නොලැබීම නිසා දහවල් කාලයේ අවේලාවේ නන්ද යැම සිදු වේ. විශේෂයෙන්ම දහවල් කෑමෙන් පසු නින්දයාමේ රෝගයට  ලක්‌වේ.

බර අඩු කරන සැත්කම් මොනවාද?

තරබාරු පුද්ගලයන් ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වන්නේ බඩවැල් තුළය. ඒ නිසා මෙම මේදය ඉවත් කිරීම සඳහා සැත්කම් කළ යුතුය.

තරබාරුව පිළිබඳව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරිනි.

කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු ඒකකයේ ප්‍රධානී
විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක