පොදුජන පෙරමුණේ මහලේකම් තිස්ස?

මේ වනවිට පිහිටුවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ධුරයට එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පත්කිරීම කෙරෙහි එම පක්ෂය හා පක්ෂයට සම්බන්ධ කණ්ඩායම්හි අවධානය යොමුව ඇත. මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අත්තනායක මහතා අදාළ තනතුරට පත් කිරීම ගැටලුවක් නොමැති බවට එම පක්ෂයේ මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර ද විවිධ මත ප්‍රකාශ වී ඇති අතර, මේ වන විට එම පක්ෂයේ ලේකම් ධුරය නීතිඥ සාගර කාරියවසම් මහතා දරන අතර, පාලක ලේකම් ධුරය රේණුක පෙරේරා මහතා දරනු ලබයි.

මේ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ නව පක්ෂයට එක්වන ලෙස තමන්ට ඉල්ලීමක් කර ඇතත් එවැනි තනතුරක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත්ය. මේ වන විට කිසිදු දේශපාලන ව්‍යාපාරයකට එක්වීමක් ගැන බලාපොරොත්තු නොමැති තමන් නිහඬව සිටින බැවු ද ඒ මහතා කීය.