වෙබ් මාෆියාවලට ඉඩ දෙන්නේ නෑ

"මිනිසුන්ට මඩ ගහන්න, චරිත ඝාතනය කරන්නට, අපහාස කරන්නට වෙබ් මාධ්‍යවලට මේ විදියට ඉඩ දෙන්න බැහැ. එවැනි දේ වළක්වන්න මාර්ගයක් තිබිය යුතුයි. ඊ නිව්ස් කතුවරයා ඉන්ටර්පෝල් හරහා අත්අඩංගුවට ගත හැකි බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේ නීතිඥයකු වශයෙන් ඔහුගේ මතයයි.

අධිකරණ නියෝග වැරැදි නම් ඔහුට ඉහළ අධිකරණයකට යන්න පුළුවන්. මීට වඩා විශාල අපරාධ කළ අය ගෙන්වා ගැනීමට ඉන්නවා.
මොනවා කළත් අවසාන ජයග්‍රහණය අපට ලැබෙනවා. සියලු තක්කඩියන්, හොරුන්, මිනී මරුවන් අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දෙනවා" යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (30දා) පාර්ලිමේන්තු කමිටු ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

කැබිනට් සමප්‍රකාශක ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"මන්ත්‍රිවරුන් සඳහා ලබන ජනවාරියේ සිට ලබාදෙන රුපියල් ලක්‍ෂයක කාර්යාල දීමනාව අනවශ්‍ය අයට නොගෙන ඉන්න පුළුවන්, තීරු බදු රහිත වාහනත් එහෙමයි. එහෙම වුණත් තීරු බදු රහිත වාහන මන්ත්‍රිවරුන් 223ක් මේ වන විට ලබාගෙන තිබෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙක් ඒවා ලබාගෙන නැහැ.

වෛද්‍යවරුන් අද වර්ජනයක යෙදී ඇත්තේ බදු සංශෝධන ගැන අනවබෝධයකින්. දෙවැනි ආදායමත් බදුවලට යටත් බව බදු නිලධාරීන් පැවැසූ නිසා ඔවුන් පැය 24ක වර්ජනයක යෙදෙන බව සභාපති පාදෙණිය මහතා මට දැන්වූයේ ඊයේ හවසයි. ඔවුන්ට මා නියම තත්ත්වය පහදා දුන්නා. ඒත් අද උදේ වෛද්‍යවරු වර්ජනය කළා.වෛද්‍යවරුන් වර්ජනය කළත් විශේෂඥ වෛද්‍ය සංගමය සේවයේ නිරතව සිටිනවා. ප්‍රශ්නවලට විසඳුම් ලෙස "පළමු පියවර වශයෙන් එළියට බැසීම" වෛද්‍යවරුන් අද තෝරාගෙන තිබෙනවා. දෙවැනිවයි ඔවුන් සාකච්ඡාවට එන්නේ. මීට පෙර සිරිමාවෝ මැතිනිය, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි නායකයන් සමඟ අපි ප්‍රශ්න විසඳගත්තේ සාකච්ඡා මාර්ගයෙන්.

මේ ප්‍රශ්නය කාගේවත් ප්‍රශ්නයක් නොවෙයි. ලෙඩ්ඩු මගේ. වෛද්‍යවරුන් මේ පාවිච්චි කරන්නේ රෝගීන්ගේ අසරණකම මිස වෘත්තීය සමිති බලයක් නොවෙයි. ත්‍රීවීල් කට්ටියටත් කලින් වෛද්‍යවරුන් පාරට බැහැලා. කම්කරු ආඥා පනතේ හැටියට වර්ජනයකට දින 14කට පෙර ඒ ගැන දැනුම්දීමක් කළ යුතුයි. රාජ්‍ය සේවකයන්ට බදු ගැහුවේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවයි. එදා වර්ජනය කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මම හැම ප්‍රශ්නයක් ගැනම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරනවා. සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක්. අද වැඩියෙන්ම වැඩවර්ජනය කරන්න බලා ඉන්නේ වෛද්‍යවරු. ඔවුන් අද හවස දැනුම් දී හෙට උදේ වර්ජනය කරනවා. වෛද්‍යවරුන්ට ප්‍රශ්න නැතැයි මා කියන්නේ නැහැ. ඒවා සාකච්ඡාවලින් විස¼දාගත යුතුයි. මුදල් ඇමැති සමඟ සාකච්ඡා කර ඒ අයට රුපියල් 10,000ක් ලබා දුන්නේ මමයි. තාක්‍ෂණික ප්‍රශ්නවලටත් වර්ජනය කරනවා.

කටුනායක ගුවන්තොටුපොළට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා 221ක් එල්ල වූ පුද්ගලයන් නීතිපතිවරයාගේ නිර්දේශ මත මුදාහැරියේ ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති නිසා විය හැකියි. සමහර සාක්‍ෂිකරුවන් මියගොස් තිබෙන්න පුළුවන්. කරුණා රිමාන්ඩ් භාරයට පත්වූයේ ඔහුට එරෙහිව අධිකරණයට ඉදිරිපත් වූ චෝදනා මත. රජයේ වාහන ලබාගත්තා නම් ඒවා ආපසු භාරදිය යුතුයි. වත්මන් නීතිපතිවරයා ඉතාම අවංක කෙනෙක්. ඔහු ස්වාධීනව, අපක්‍ෂපාතීව තම රාජකාරි කටයුතු සිදුකරන බව පක්‍ෂ විපක්‍ෂ සියලුදෙනා පිළිගන්නවා.

මහ බැංකු බැඳුම්කර සම්බන්ධව තවමත් කවුරුවත් වැරැදිකාරයා කර නැහැ. මේක විභාග කරන්න ඕන මූල්‍යමය දැනුමක් ඇති අය. ඒ වගකීම නීතිපතිවරයා ඉටු කරයි.