සීනි පාලනය කරන්නේ මෙහෙමයි

සීනි සහිත ආහාර පාලනයකින් යුතුව ගැනීම දියවැඩියාව ඇති නැති කාටත් ඉතා වැදගත් . එහෙත් ගැටලුව, සීනි සහිත කෑමවල ඇති රසය ගැන මතකයට නැඟෙන විට, එවැනි ආහාරවලින් වැළකී සිටින්නේ කෙසේද යන්න පිළිබඳයි.

මිනිසා, සීනිවලට ඇබ්බැහි වන බව වෛද්‍යවරු පවසති. ඒ කරණා කවරක් වුවත්, දීර්ඝ කාලීන සුවය අප කාටත් වැදගත් ය. එනිසා සීනි සහිත ආහාර අපේ කෑම වේල්වලින් අමාරුවෙන් වුවත් ඈත් කිරීම ගැන කවුරු කවුරුත් සිතා බැලිය යුතුව ඇත. සීනි සහිත ආහාර මඟ හැරීම සඳහා ඔබට පහසුවෙන් කළ හැකි දේ කිහිපයකි.

1. කඩ සාප්පුවල තබා ඇති විවිධ විධියේ ආහාර පාන කෑමට ගැනීමෙන් වළකින්න. ඒ විනය ගොඩනඟාගත යුත්තේ ඔබමය. කඩවල තබා තිබෙන ආහාර ගැනීම කපා හරින්නට ඔබ ඉදිරිපත් වුවහොත්, එය ඔබේ පසුම්බියටත්, සිරුරටත් ඉතා හොඳ තත්ත්වයකි.

2. මහමඟට බට විට ඔබට නොයෙක් විධ අනම් - මනම් කෑම වර්ග වුවමනා වන්නේ, නිවෙසින් බැහැර වන්නට පළමුව හරිහැටි කා බී ගමන පිටත් නොවන නිසා ය. එනිසා හැම විටම, නිවෙසේදී සෞඛ්‍ය සම්පන්නව සකසාගත් ආහාර වේලක් ලබා ගැනීමට අමතක නොකළ යුතු ය.

3. ප්‍රධාන ආහාර වේල් මඟ නොහරින්න.

4. පොඩි බඩගිනිවලට පැණි රස කෑම වර්ග ගැනීමෙන් වළකින්න. එවැනි බඩගිනි මඟහැර ගන්නට පේර, ඇපල් වැනි පලතුරක් කෑමට ගන්න.

5. කිසියම් ආහාර වර්ගයක් මිලදී ගන්නට පළමුව, ඔබ එහි ලේබලය හොඳින් කියවා බැලිය යුතු ය. ආහාරයේ අඩංගු දේ මොනවාද යන්න ලේබලයේ සටහන්ව ඇත. සීනි සහිත ආහාරයක් නම්, එය ඔබේ මිලදී ගැනීම් ලැයිස්තුවෙන් කපාහරින්න.

6. සමහර විට ලේබලය කියෙව්වත්, එකී ආහාරයේ සීනි අඩංගුදැයි කියා ඔබට සොයා ගන්නට බැරිවනවා වන්නට පුළුවන. ආහාරයේ සීනි අඩංගු බව ලේබලය මත සටහන්ව ඇත්තේ වෙනත් ආකාරයකින් වන්නට පුළුවන. ඒ අතර “හයි ෆ්රුක්ටෝස් කෝර්න් සිරප්”, “ඉන්වර්ට් ෂුගර්”, “මොලෑසස්” “සුක්රෝස්”, පැණි හෝ “හනී” වැනි වචන තිබෙන්නට පුළුවන. එවැනි යෙදුම්වලට නොරැවටෙන්න.

7. “සීනී අඩංගුව නැත” යනුවෙන් ලේබලය මත සඳහන්ව ඇති ආහාර වර්ග මිලදී ගන්නට පෙලඹෙන්න.

8. සීනි භාවිතයෙන් තොරව අතුරුපසක රස විඳින්නේ කෙසේදැයි කියා ඔබ දැන් කල්පනා කරනවාට කිසිදු සැකයක් නැත. අතුරුපස සඳහා හැම විටම පලතුරු එකතු කර ගන්න උත්සාහ කරන්න.

9. පිපාසයට සීනි සහිත පාන වර්ග බීමෙන් ඈත් වන්න. ඒ වෙනුවට පිරිසුදු ජලය පානය කිරීමට හුරුවන්න.

10. කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වර්ග, එනම් පාන් වැනි ආහාර වර්ග - කෑමට ගැනීමෙනුත් ඔබේ සිරුරේ සීනි ප්‍රමාණය ඉහළ යා හැකි ය. එනිසා කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්න.