ගාලු මුවදොර යෝධ නත්තල් ගසට විරෝධය

ළඟ එන නත්තල් උත්සවය නිමිත්තෙන් රුපියල් කෝටි ගණනක්‌ වැය කර අමාත්‍යාංශයක්‌ මැදිහත් වී කොළඹ ගාලු මුවදොර ඉදිකෙරෙන යෝධ "නත්තල් ගස" පිළිබඳව කතෝලික සභාවේ විරෝධය එල්ල වී ඇත.

කොළඹ අගරදගුරු මැඳුරේදී ඊයේ (6 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම විරෝධතාව පිළිබඳව හෙළි විය.
මෙම පුවත්පත් සාකච්ඡාවේදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගෙන් මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් කාදිනල්තුමා කියා සිටියේ මෙවැනි නත්තල් ගසක්‌ ඉදිකරන ආරංචිය තමන්ට දැනගැනීමට ලැබුණු බවත් මෙම ඉදිකිරීම් සඳහා වැය වන මුදල් නත්තල වෙනුවෙන් දිළින්දන් සඳහා වැය කරන ලෙස ඉල්ලා සිටින බවත්ය.

මෙම නත්තල් ගස ඉදිකරන අමාත්‍යාංශය පිළිබඳව තමාට ස්‌ථිරව දැනගැනීමට නොලැබුණත් දැනට මෙම නත්තල් ගස ඉදිකරගෙන යන්නේ නම් එය නතර කළ යුතු යෑයි ද කාදිනල්තුමා කීය.

නත්තලේ අරුත කා බී සතුටු වීම නොවන බව ද ඇතැමුන් නත්තල පිළිබඳව වැරදි වැටහීමක්‌ ඇතිකරගෙන ඇති අතර ජීවමාන නත්තල් සීයලා අද වෙළෙඳ භාණ්‌ඩයක්‌ වී ඇතැයි ද නත්තල වෙනුවෙන් බෙදාහදා ගැනීම හා නැති උදවිය සමඟ නත්තල් උත්සවය සැමරිය යුතු බව ද කාදිනල්තුමා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ, කොළඹ සහයක රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු, ලාල් පුෂ්පදේව, ජූඩ් සමන්ත යන පියතුමන්ලා සහභාගි වූහ.