සියලු බේද අමතක කර නැගී සිටිමු

රටත්, ජාතියත් සම්බුද්ධ ශාසනයත් වනසා දැමීමේ කුමන්ත්‍රණය සතර දිගින් ක්‍රියාත්මක වී ඇති බැවින් කුඩා කුඩා වාද භේද අමතක කර එක පවුලක්‌ ලෙස එකට එක්‌ව නැඟී සිටින මෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සියලු ජාතික සංවිධානවලින් ගෞරවයෙන් ඉල්ලා සිටින බව ඊයේ 12 වැනිදා සඳහන් කළහ.

ජාතිකත්වය තුළ සිටින නායකයන් පිරිස සමගි කරනොගෙන මෙම අර්බුදය රටට පවසා නොවිසඳුවහොත් කිසිදා ගෙවා නිම කළ නොහැකි පාපකර්මයක්‌ කර ගන්න වෙනවා යෑයිද උන්වහන්සේ කීහ.

මෙම ජාතික අර්බුදයේදී බොදුබල සේනා සංවිධානය ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අදහස විමසන බවත් රතන හිමිගේ නිහඬතාව බරපතළ ප්‍රශ්නයක්‌ බවත් පැවසූ ඥනසාර හිමියෝ රතන හිමිගේ හඬ මේ මොහොතේ අත්‍යාවශ්‍ය බවත් පැවසූහ.

මෙහිදී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේකීහ.

චම්පික රණවක මහත්මයලා අතුරලියේ රතන හිමිලා නොහිටින්න මේ යුද්ධය ජයගන්න විදිහක්‌ නෑ. අපි මහින්ද රාජපක්‍ෂ මහත්තයට, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යුද්ධය ජයග්‍රහණය කිරීමේ ගරුත්වයක්‌ දෙනවා වගේම චම්පික රණවක මහත්මයටත් රතන හාමුදුරුවන්ටත් සිදු කළ කාර්යභාරය වෙනුවෙන් ගරුත්වය එකසේ ලැබිය යුතුයි.

මේ රටේ ජාතිකත්වය මතුකරලා මේ යුද්ධය ජයගත හැකිය ජයගත යුතුය කියලා වැඩපිළිවෙලක්‌ හදලා ඒ ජාතික මතය මේ නායකයන්ගේ හිත්වලට පවා කාවද්දලා ඒක කළේ චම්පික මහත්තයයි රතන හාමුදුරුවොයි කියන එක අපි කවදාවත් අමතක නොකළ යුතුයි.

ඒ නිසා මේ වෙලාවේදී මහින්ද රාජපක්‍ෂ මහත්මයා ගෝඨාභාය රාජපක්‍ෂ මහත්මයා, විමල් වීරවංශ මහත්තයා, උදය ගම්මන්පිල මහත්මයා, දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඒ වගේම චම්පික මහත්මයා, රතන හාමුදුරුවෝ, ආදී වශයෙන් විවිධ දේශපාලන පක්‍ෂවලට බෙදී සිටින, ජාතිකත්වය තුළ දේශපාලනයෙහි නිරතවෙන නායකයන් සියලු දෙනා සමග එක වේදිකාවකට ගොඩවී රට වෙනුවෙන් යුතුකම ඉටුකරන ලෙස ඉතා ඕනෑකමින් බොදු බල සේනා සංවිධානය ඉල්ලා සිටිනවා.

බොහෝ විට සිංහලයෝ ටික බෙදලා අපට ඉන්න වැඩක්‌ කළ හැකි නායකයෝ ටික බෙදලා මේ රට විනාශ කර දැමීමේ කුමන්ත්‍රණ රට තුළ ක්‍රියාත්මක විය හැකියි. ඒ හේතුව මත මේ රටට ආදරය කරනවා නම්, ඒ සියලු දෙනා මේ ව්‍යවස්‌ථා උගුලෙන් රටත් ජාතියත් ගලවා ගැනීමට පෙරමුණ ගත යුතුයි.