සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 42යි

saptha kanya plane crash
පුද්ගලයින් 191 දෙනකුට මරු කැඳවමින් මෙරට ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඊයේ (4) දිනට වසර 42 ක් සපිරිණි.

වර්ෂ 1974 දෙසැම්බර් මස 4 දින මේ ගුවන් අනතුර සිදුවූ අතර ඉන් මක්කමේ වන්දනාවේ යමින් සිටි වන්දනා කරුවන් 182ක් හා කාර්යමණ්ඩලයේ 9 දෙනකු මරණයට පත්වූහ.

ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළ ගුවන් යානය මක්කම බලා යමින් තිබියදී ආගරපතන නොර්වුඩ් කාසල්රී ජලාශයට ඉහළින් සප්ත කන්‍යා කඳුවැටියේ ගැටීමෙන් මේ අනතුර සිදුවූ අතර ඉන් මියගිය 190 දෙනකුගේ සිරුරු කඳුපාමුල මිහිදන් කර ඇත.

ගුවන් සේවිකාවකගේ මළ සිරුරක් පමණක් ඇගේ පෙම්වතා විසින් ඉන්දුනීසියාවට රැගෙන ගොස් තිබේ.

මාර්ටින් එයාර් ඩී-සී 8 ගුවන් යානය අනතුරට ලක්වන විට එහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැම්රේ (52) නමැති අයෙකි. අනතුරින් යානය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙන අතර එහි එක් රෝදයක් අදද නොර්වුඩ් පොලීසිය ඉදිරිපිට සිහිවටනයක් ලෙස තැන්පත් කර ඇත.