කසිප්පු පෙරීම නැවත් වීමට 27ක්‌ පොරොන්දු වෙති

සිරිපාගම නව පොලිස්‌ ස්‌ථානය ආරම්භ කිරීමත් සමඟ නීති විරෝධී ලෙස කසිප්පු ජාවාරමේ නිරතවූ පුද්ගලයන් 27 දෙනකු කසිප්පු පෙරීම සම්පූර්ණයෙන් නතර කර කසිප්පු පෙරීමට යොදා ගත් උපකරණ රැසක්‌ ඊයේ (27 දා) සිරිපාගම පොලිස්‌ ස්‌ථානයට ගෙනැවිත් භාර දීමට කටයුතු කළ බව සිරිපාගම පොලිසිය පවසයි.

පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. ප්‍රසන්න නානායක්‌කාර මහතා කසිප්පු ජාවාරම පවත්වාගෙන ගිය පුද්ගලයන් කැඳවා ඔවුන්ට නීතිමය කරුණු හා මෙම ජාවාරම තුළින් සිදුවන සමාජ පරිහානිය පිළිබඳ කරුණු අවබෝධ කර දීමට කටයුතු කර ඇත.

ස්‌ථානාධිපතිවරයාගේ කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව සිරිපාගම පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ගිලීමලේ උතුර, ගිලීමලේ දකුණ, ඇඹුල්දෙණිය, පාගොඩ, අතුරලිය ආදී ප්‍රදේශ ගණනාවක මහා පරිමාණයෙන් කසිප්පු ජාවාරම පවත්වාගෙන ගිය ලීටර් 200 බැරල් 19 ක්‌, තඹ දඟර 11 ක්‌, ගෑස්‌ ලිප් 03 ක්‌ ඇතුළු කසිප්පු පෙරීමට භාවිතා කරන අනෙකුත් උපකරණ රැසක්‌ ස්‌ථානාධිපතිවරයාට භාර දීමට කටයුතු කර ඇත. කාලයක්‌ තිස්‌සේ මහා පරිමාණයෙන් මෙම ජාවාරම කරගෙන ගොස්‌ ඇති අතර රත්නපුර, කුරුවිට ඇතුළු ප්‍රධාන නගර සඳහා ද අලෙවිය සඳහා කසිප්පු ප්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.