වර්ජන දිනයේ ලංගම 20කට ගහලා

පසුගිය 2 වැනිදා පෞද්ගලික බස් රථ වර්ජනය පැවැති අවස්ථාවේදී ධාවනය කරන ලද ලංගම බස් රථ 20කට අධික සංඛ්‍යාවකට පහර දී අලාභ හානි සිදු කර ඇතැයි ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා කීය. 

මේ සියලු සිදුවීම් වාර්තා වූ සැණින් පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පෞද්ගලිකවම තමා පැමිණිලි කළ බවත් රජයේ දේපළවලට අලාභ හානි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙනු ඇති බවත් ඒ මහතා කීය.

ත්‍රීකුණාමලයේ සිට තංගල්ල දක්වා ධාවනය කෙරෙන බස් රථයකට 01 දා අලුයම ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර මූතූර් සිට ත්‍රීකුණාමලයට පැමිණි බස් රථයකට ද 02 උදෑසන ගල් ප්‍රහාර එල්ල කර ඇත. එදිනම තංගල්ල, හේනකඩුව ප්‍රදේශයේදී ද ලංගම බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කුලියාපිටිය ප්‍රදේශයේදී ලංගම බස් රථයකට පසුගිය සිකුරාදා උදෑසන එල්ල වූ ගල් ප්‍රහාරයකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. එමෙන්ම මීරිගම, කොළඹ-මහනුවර මාර්ගයේ, දඹදෙණිය, මාතර, කතරගම, මීගමුව, පයාගල, කෙරවලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදී ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි. විශේෂයෙන්ම දැරණියගල ප්‍රදේශයේදී බස් රථ ධාවනය කළ නොහැකි ලෙසින් මාර්ගය අවහිර කර තිබූ බවද ලංගම සභාපතිවරයා කීය.

මේ වර්ජනයට සහාය පළ කරමින් ත්‍රිරෝද රථ සංගම්ද වැලිමඩ බස් රථ නැවතුම්පොළ වටලා තිබූ අතර එම නිසා බස් රථ පිටතට ගැනිමට හෝ පිටත ඇති බස් රථ ඇතුළු කිරීමට හෝ නොහැකි වූ බවද සිරිවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

එසේම ත්‍රිරෝද රථ හිමියන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණු අතර මේ විරෝධතාවයට ගල්කන්ද දුම්රිය හරස් මාර්ගයද යොදාගැනීම නිසා කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට අමතරව දුමිරිය මාර්ගය ද අවහිර වී තිබිණි.

ත්‍රීරෝද රථ හිමියන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් සිකුරාදා කොළඹ - පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද හට ගෙන තිබිණී. මාතලේ රත්තොට ප්‍රදේශයේද ත්‍රීරෝද රථ සහ ලොරි රථ රියැදුරන් පිරිසක් නව රථ වාහන දඩ යෝජනාවලට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයයේ නිරත වීම නිසා ප්‍රදේශයේ ගමනාගමනයටද බාධා පැමිණියේය.