ගම්පහ බස්‌ සංගම් සභාපති ඇතුළු 19ක්‌ රිමාන්ඩ්

වාහන දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව ඉකුත් 2 දා පැවති දීපව්‍යාප්ත පෞද්ගලික බස්‌ රථ සහ ත්‍රිරෝද රථ වර්ජනයේදී මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද හන්දිය අවහිර කරමින් ප්‍රධාන මාර්ගයේ බස්‌ රථ ධාවනයට සහ හලාවත කොළඹ දක්‌වා දිවෙන දුම්රියද නවතා ඉතා කලහකාරීව මහජනයාට පීඩාවන පරිදි හැසුරුණු ගම්පහ දිස්‌ත්‍රික්‌ පෞද්ගලික බස්‌ රථ සංගමයේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 19 දෙනකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා සැකකරුවන් දෙසැම්බර් මස 9 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පෙරේදා (3 දා) නියෝග කළේය.

මීගමුව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවන් වූයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පෞද්ගලික බස්‌ රථ සංගමයේ සභාපති මදුරගේ ලැම්බට්‌ ඇතුළු ත්‍රිරෝද රථ රියදුරන් 18 දෙනකි. මීගමුව පොලිසියේ උපපොලිස්‌ පරික්‍ෂක සම්පත් දිසානායක, උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් විඡේසූරිය සහ සැරයන් (49241) ජිනදාස යන මහත්වරුන් විසින් සැකකරුවන්ට එරෙහිව චෝදනා 7 ක්‌ ගොනු කරනු ලැබූහ.

එම චෝදනා නම් අධිකරණයට අපහාස කිරීම, නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන්වීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම, පොදු දේපලවලට අලාභහානි සිදුකිරීම සහ පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ සිරකර පහරදීම යන චෝදනායි. එම සැකකරුවන්ගේ මෙහෙයවීමෙන් මීගමුව හලාවත ප්‍රධාන මාර්ගය සහ හලාවත කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයද අවහිර කිරීම හේතුවෙන් ඔවුන් එම ස්‌ථානයෙන් ඉවත් කිරීමටත් පොලිසිය අධිකරණ නියෝගයක්‌ ලබාගත් නමුදු එම අධිකරණ නියෝගයටද උද්ඝෝෂකයන් ගරු කළේ නැත.

අවසානයේ එම ස්‌ථානයට පොලිස්‌ විශේෂ කාර්ය බළකා ඒකකයේ නිලධාරීන් සහ මීගමුව පොලිසියේ කැරලි මර්දන ඒකකය පැමිණ කඳුළු ගෑස්‌ එල්ලකර කලහකාරී පිරිස විසුරුවා හැරි අතර පසුව ඔවුන් අත්ඩංගුවට ගන්නා ලදී.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස්‌ මත මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ මෙහෙයවීමෙන් උද්ඝෝෂකයන් විසුරුවා හැර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වත්සලා උළුවඩුගේ සහ නීතිඥ රංජන් මෙන්ඩිස්‌ යන මහත්ම මහත්මීන් විසින් සැකකරුවන්ට ඇප අයෑද සිටියත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

උපපොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක, උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් විඡේසූරිය සහ සැරයන් (49241) ජිනදාස යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ. වැඩිදුර විභාගය දෙසැම්බර් මස 9 වැනිදා පැවැත්වේ.