ඇන්ජලින්ගේ ගෙදරට ලතා යයි

තිස්‌ වසරක විරසකය නිමයි ඇන්ජලින්ගේ ගෙදරට ලතා යයි
ඇන්ජලීන් ගුණතිලක.. සිනමා අඹරේ රිදී සීනුව... පසුගියදා දැඩි ලෙස රෝගාතුර වූවාය. ප්‍රතිකාර ලබමින් නිවසේ පසුවන ඇයට තවමත් ගී ගයන්නට තරම් සුවයක්‌ නැත. තම මිත්තණිය ඇගේ සමකාලීන ගායිකා ලතා වල්පොල සමඟ තිබෙන විරසකයට නැවතීමේ තිත තබන්නට ඉමල් ජූඩ් කලක සිට දැඩි වෙහෙසක්‌ ගත්තේය. ඒ උත්සාහය ඔහු සපල කර ගත්තේ පසුගිය 11 වැනිදාය. ඒ ලතාගේ උපන්දිනය දාය. එතැන් සිට සිදුවූ දේ ගැන ප්‍රවීණ ගායිකා ලතා වල්පොල.. ජ්‍යෙෂ්ඨ ශිල්පිණිය හෙළිකළාය.


මගේ උපන් දිනය දා ඇන්ජලීන් Phone එකෙන් කතා කරලා මට සුබ පැතුවා. අවුරුදු තිහකට පස්‌සේ.. මට හරිම පුදුම හිතුනා. අපි දෙන්නව යාළු කරන්න ඉමල් ජූඩ් පුතා ගොඩාක්‌ උනන්දු වුණා. හරි හොඳ ළමයෙක්‌. එයා තමයි ආච්චිට බල කරලා තිබුණේ මට සුබ පතන්න කියලා.

සුබපතලා මොනවද කිව්වේ

ඇඬුවා.. ඇන්ජලීන් මට සුබ පතලා හොඳටම ඇඬුවා. මටත් දුකේ බෑ.. මමත් ඇඬුවා.. මම ඇන්ජලීන්ට කිව්වා මම ඔයාව බලන්න එන්නම් කියලා..

බලන්න ගියාද?

ඔව්... ඉරිදා 13 වැනිදා මම ඇන්ජලීන් බලන්න එයාගේ ගෙදරට ගියා.

මොනවද ඇය ඔබට කිව්වේ

ඇන්ජලීන් මා එක්‌ක හරිම සුහදව කතා කළා. අනේ අපි කොච්චර හොඳට ඒ කාලේ හිටියද නේද. අපි දෙන්නා සංගීත සංදර්ශනවලට ගියේ එකට. චිත්‍රපටවලට ගියේ එකට... නේද කියලා පරණ දේවල් ගැන කතා කළා. අපි හුඟාක්‌ දේ ගැන කතා කළා.

ඔබ මොනවද ඇයව දුටු ගමන් කිව්වේ

අනේ ඇන්ජි... මම ඔයලාගේ ගේ ඉස්‌සරින් කොච්චර එහාට මෙහාට යනවද.. මම හරිම ආසාවෙන් හිටියේ ඔයාව බලන්න එන්න. ඒත් මම බයිපාස්‌ කරපු වෙලාවෙත් ඔයා ආවේ නෑනේ. මා එක්‌ක හොඳටම තරහ ඇති කියලා හිතුනා. ඒ නිසා මට බය හිතුනා ඔයාව බලන්න එන්න. ඒකයි මම ආවේ නැත්තේ" කියලා මම ඇන්ජලීන්ට කිව්වා..

ඇන්ජලීන් මොනවද කිව්වේ

අනේ ලතා.. එහෙම කරන්න එපා.. මම එහෙම නෑ.. මම කා එක්‌කවත් හතුරු නෑ... මම දෙවියන් වහන්සේගේ දරුවෙක්‌ කියලා හරිම දුකෙන් කිව්වා.

මොකක්‌ද ඔය විරසකයට මුල..?

අනේ මම දන්නෙ නෑ.. මගේ ජීවිතේ තරහවෙලා හිටපු එකම කෙනා තමයි ඇන්ජලීන්. ඒත් මම තරහ වෙලා හිටපු කාලෙදීවත් කිසිම තැනක එයාට දොස්‌ කියලා නෑ.

ගිය හැටියෙම ආපහු ආවද.. ටික වෙලාවක්‌ කතා කර කර හිටියද?

අපෝ... පැය තුන හතරක්‌ අපි කතා කරකර හිටියා. මම යද්දී එයාට ෆිසියෝ තෙරපි කරනවා. ඇන්ජලින් ටිකක්‌ විතර කෙට්‌ටු වෙලා. හරි ලස්‌සන ගෑනියෙක්‌නේ. හොඳට කතා කරනවා. ටික දවසක්‌ යද්දී හොඳටම හොඳ වේවි. මමත් එයාට ඉක්‌මණින් හොඳ වෙන්න කියලා යාච්ඤා කරනවා.

ඔබටත් ඇය ගැන දුකයි වගේ...

ඇත්තටම. අපේ රටේ ආණ්‌ඩුත් මාර පුදුම ආණ්‌ඩු. රටේ ඉන්නේ එකම කලාකරුවෙක්‌ විතරයි කියලා හිතාගෙන ඉන්නේ. ඇන්ජලීන් ගුණතිලක කියන්නේ පොඩි ගෑණියෙක්‌ද.. කිසිම සහායක්‌ නෑ. රජයේ ලොකු ලොක්‌කන්ට ගිහින් සැප දුක්‌ බලන්න බැරිද.. චිත්‍රපට ගීත ගයපු නිසාම අපි පීචං වෙලා ඉන්නේ. අපේ හිසට සෙවනැල්ල අපේ අතම තමයි. ඇන්ජලීන්ට ප්‍රතිකාර කරන්න දවසකට රුපියල් දෙදාහක්‌ විතර යනවා. ඇන්ජලීන් කියන්නේ කාටවත් අතනොපා ජීවත්වෙන ගායිකාවක්‌. එයා කාටත් පින් සේණ්‌ඩු වෙන්න යන්නේ නෑ. ටිකක්‌ ආඩම්බරයි. අහංකාරයි. ඒත් රජයට යුතුකමක්‌ තියෙනවා යමක්‌ කරන්න.

ඔබ ආයෙත් ඇන්ජලීන් බලන්න යනවද?

ඔව්... ඇන්ජලීන් මට කිව්වා දවසක්‌ ඉන්න බලාගෙන එන්න කියලා... මම අනිවාර්යයෙන්ම ආයෙත් ඇන්ජලීන් බලන්න යනවා. මට ආසයි එයත් එක්‌ක කතා කරන්න. අපේ හිත්වල දැන් තරහක්‌ නෑනේ.

ඇන්ජලීන්ගේ ගෙදර ඉමල් ජූඩ් පුතාගේ ශබ්දාගාරයක්‌ තියෙනවා. මමයි ඇන්ජලීනුයි එතැනට ගිහින් සිංදුවක්‌ කිව්වා. නමුත් ඒක සම්පූර්ණ කරගන්න බැරිවුණා. ආයෙත් දවසක හමුවෙලා සින්දුව සම්පූර්ණ කරගන්න බලනවා.

* අලහකෝන්