සිම්බාබ්වේ අවසන් මහ තරගයට

සිම්බාබ්වේ
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අද (25) සමත් වුණා.

දෙරට අතර අද පැවති තීරණාත්මක තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තේ ලකුණු 5කින්. වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තරගයේ ජය තිරණය කෙරුණා.

වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 49කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම එහිදී කඩුලු 8ක් දැවී ලකුණු 218ක් රැස් කළා. වරෙක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 89ක් ලබා දැඩි පසුබෑමකද පසුවුණා. අනතුරුව 9 වැනි කඩුල්ලට ලකුණු 91ක වාර්තාගත සබඳතාවක් එක්කරමින් සිකන්දර් රාසා සහ ටෙන්ඩයි චිසොරො සිම්බාබ්වේ කණ්ඩායමට ජයග‍්‍රාහී බලාපොරොත්තුවක් එක් කළා.

ලකුණු 219 ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 93ක් තුළ බිඳහෙලීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා. 28 පන්දුවාරයේ දී බුලවායෝ කි‍්‍රඩාංගණයට යළි වර්ෂාව ඇදහැලිම නිසා තරගය නතර කෙරුණා. ඒ වන විට කොදෙව් කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 124ක්.

එ් අනුව ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වුණා. තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ හිදි හෙට පැවැත්වීමට නියමිතයි.