රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් හමුවට

රවිරාජ් ඝාතන නඩුව
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි ‍පොලිස් සැරයන්වරයා වෙඩිතබා ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් හයදෙනාට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විශේෂ ජූරි සභාවක් හමුවේ ලබන 22 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (31) තීරණය කළේය.

නඩු විභාගය සඳහා උපාධිධාරීන් හයදෙනකුගෙන් යුත් ජුරි සභිකයන් පත්කර ගැනීම ද ලබන 22 වැනිදාට සිදු කරන අතර එතැන් සිට එම ජූරි සභිකයන් ඉදිරියේ දිනපතා මේ නඩුව විභාගයට ගැනීමට එසේ තීරණය කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද නියෝග කළේය. නීතිපතිවරයා විසින් අධි ‍චෝදනා පහක් යටතේ විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා ඇතත් නඩු විභාගය සඳහා මේ වනවිට අධිකරණය හමුවේ පෙනී සිටිනුයේ විත්තිකරුවන් ‍තිදෙනකු පමණි.

ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනවිරත්න හා ප්‍රදීප් චාමින්ද යන හිටපු නාවික හමුදා නිලධාරීන් වන මේ විත්තිකරුවන් තිදෙනා නඩු විභාගය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොදු දේපළ පනත යටතේ හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මේ විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා නගා ඇති අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන මත විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම නඩුවේ ලඝු නොවන නඩු විභාගයේ සිට අධිකරණය හමුවේ පෙනී නොසිටි පලන සාමි සුරේෂ්, සිවකාන්තන් විවේකනාදන් හා ශේවියන් රොයිස්ටන් නමැති විත්තිකරුවන් නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ (24) වගන්තිය යටතේ එම විත්තිකරුවන් ‍තිදෙනා නොමැතිව මෙම නඩුව ඉදිරියට විභාගයට ගැනේ.

2006 නොවැම්බර් 10 වැනිදා කොළඹදී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා වෙඩි තබා ඝාතනය කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම ඇතුළු අධි චෝදනා මත නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව මේ නඩුව පවරා ඇත.

නඩු විභාගය සඳහා විත්තිකරුවන් ලබන 22 වැනිදාට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (31) නියෝග කළේය.