‘ආවා ගෲප්’ නායකයා ‘සන්නා’

‘ආවා ගෲප්’ නායකයා ‘සන්නා’
විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව යළි එල්.ටී.ටී.ඊ. ය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් උතුරේ මෙම ‘ආවා ගෲප්’ සංවිධානය පිහිටුවා ගෙන ඇති බවත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික නල්ලලිංගම් ප්‍රසන්න නොහොත් ‘සන්නා’ එහි නායකයා බවට තොරතුරු අනාවරණය කැර ගත් බවට කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය ඊයේ (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ‍වෙත දැනුම් දුන්නේය. ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගනු ලැබූ ‘ආවා ගෲප්’ සංවිධානයේ තවත් සැකකරුවන් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන ඒකකය මේ බව දැනුම් දුන්නේය.

කොකුවිල යාපනය පදිංචි නල්ලලිංගම් ශර්මිරන් නැමැති සැකකරු ඉකුත් 7 වැනි දින අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.

සැකකරු රඳවා ප්‍රශ්න කිරීමේදී මෙම 'ආවා ගෲප්' සංවිධානය එල්.ටී.ටී.ඊ. විදේශගතව සිටින සාමාජිකයින්ගේ උපදෙස් මත උතුරු ප්‍රදේශයේ 'ආවා ගෲප්' සංවිධානය පිහිටුවා ගත් බවත් විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව එවන මුදල් මඟින් වෑන් රථ පවා මිලදී ගෙන ඇති බවට ‍කරුණු අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් ද්‍රවිඩ චිත්‍රපට බලමින් එහි ඇති ආකාරයේ කිනිසි, කඩු මඟින් පහරදීමට පුහුණුව ලබාගෙන ඇති බව ද ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කැර තිබේ.

රවින්ද්‍රන් නිදර්ශන් නොහොත් පාක්කු, ලෝගනාදන් දර්ශිකන්, මහාදේවන් කන්දකරන් හා රවින්ද්‍රන් නිලුෂන් යන සැකකරුවන් මෙවර අපොස උ.පෙ. හා සා.පෙළ පෙනී සිටීමට නියමිත මෙන්ම පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අය බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

‍ ‍මොවුන් සතුව තිබී කැති, කඩු, wpps 9478 ටොයෝටා කේ.ඩී.එච්. වෑන් රථයක්ද ත්‍රස්ත ඒකකය අත්අඩංගුවට ගෙන තිබිණි.

දැනට අධිකරණය වෙත සැකකරුවන් 11 දෙනකු ඉදිරිපත් කැර ඇති අතර සියලු සැකකරුවන් මේ මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කැර ඇත.