ජනපති මෛත්‍රී ට්‍රම්ප්ගේ සහාය පතයි

ආණ්ඩුවේ ඉදිරි කටයුතු සඳහා සහාය දෙන්නැයි මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා වෙත විශේෂ පණිවුඩයක් යවමින් තමන් ඉල්ලා සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බරපතළ යෝජනාව දුර්වල කොට ඇමෙරිකාව හා මෙරට අතර ඇතිකරගෙන තිබෙන එකඟතාව ට්‍රම්ප් මහතාට ඉදිරිපත් කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනට පෙරේදා (26) සහභාගි වෙමිනි.

එම එකඟතාව ඇතුළත් යෝජනාව පිළිබඳ ට්‍රම්ප් මහතා සමග සාකච්ඡා කරන බවත් ඉදිරියේදී මෙරටින් විශේෂ නියෝජිතයන් යවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුළුමනින්ම නිදහස් කොට, මෙරට ජනතාවට නිදහසේ සිටිය හැකි සමාජයක් ගොඩනගා දෙන්නැයි ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

“එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්තුමාගෙනුත් මම ඒ ඉල්ලීම කරනවා. මට විශ්වාසයක් තිබෙනවා ඒ කරුණුවලින් අපට ජයග්‍රහණයක් ලැබේයි කියලා. උතුරේ අන්තවාදයත් දකුණේ අන්තවාදයත් අපි ප්‍රතික්ෂේප කරන්නට ඕනෑ. මේ රටේ සිංහල, දමිල, මුස්ලිම් සියලු දෙනාට සමගියෙන් සහ විශ්වාසයෙන් ජීවත්විය හැකි වටපිටාවක් ගොඩනැගෙන්නට ඕනෑ. මේ රටේ යුද්ධයක් ඒම වැළැක්වෙන්නට නම් උතුරේ ජනතාවගේ තිබෙන ප්‍රශ්න විසඳන එක විය යුත්තක්.

උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දුන්නේ නැත්නම් එතනින් තමයි යුද්ධය පටන් ගන්නේ.” යැයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.