දරුවකු බිහි කරද්දී තවත් කාන්තාවකට ළඟ ඉන්න අවසර

දරුවකු බිහි කරද්දී
දරුවකු බිහිකරන අවස්ථාවේ චිත්ත ධෛර්යය වැඩිකිරීමේ අරමුණින් සෑම ගර්භණී කාන්තාවකටම තමන් කැමැති කාන්තාවක් සූතිකාගාරයට කැඳවා ගැනීම සඳහා අවස්ථාව හිමිකර දෙන බව කොළඹ කාසල් කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක පවසයි.

වර්ෂ 2008 සිට කාන්තා සහායිකාවක් කැඳවා ගැනීම සඳහා ගර්භණී කාන්තාවකට අවස්ථාව හිමිකරදී තිබූ බවත් 2011 සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපාය මාර්ගික සැලැස්මට මේ අයිතිය ලබාදීම ඇතුළත් කර ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
මහාචාර්ය හේමන්ත සේනානායක එසේ පැවැසුවේ සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශයේ පසුගියදා (03දා) පැවැති ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමිනි. මේ අනගි අයිතිය ලබා ගන්නා ලෙස සෑම ගැබිනි කාන්තාවකටම අනුබල දීම මෙම වසරේදී දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන බව පැවැසූ මහාචාර්ය හේමන්ත සේනානායක එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි ගැබිනි කාන්තාවන්ගෙන් ඉල්ලීමක්ද කෙළේය.