මෝටර් රථයක් පාර්ලිමේන්තු පොකුණේ

කෞතුකාගාර අධ්‍යක්‌ෂවරිය රැගෙන යැම සඳහා ඊයේ සවස 6.15 ට පමණ පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් තිබූ මෝටර් රථය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස ඇති පොකුණට වැටිණි.

වර්ෂාව සහිත මෙම අවස්‌ථාවේ දැඩි අන්ධකාරයක්‌ පැතිර තිබූ අතර රියෑදුරුට මාර්ගය සොයා ගත නොහැකිවී පොකුණ වෙත රිය ධාවනය කර ඇතැයි පොලිස්‌ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

සංස්‌කෘතික අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගි වීම සඳහා පැමිණ සිටි අධ්‍යක්‌ෂවරිය මේ අවස්‌ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ඇත. ඇය රැගෙන යැමට පැමිණි මෝටර් රථය පොකුණට වැටී යළි ප්‍රතිවිරුද්ධ දිශාවට හැරී ඇත.

මෝටර් රථය ගොඩට ගැනීමට දැඩි උත්සාහයක්‌ ගනු ලැබුවද එය වාහනයේ පිටුපස අංක තහඩුව දක්‌වා වතුරට යටවී තිබිණි. පොලිස්‌ නිලධාරීන් ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් වර්ෂාව මැද මෝටර් රථය පිටතට ගැනීමට දැඩි වෙහෙසක්‌ දැරුවද පාර්ලිමේන්තු කටයුතු අවසන් වනතුරුත් එය ගොඩ ගෙන නොතිබිණි.

මේ අවස්‌ථාවේදී මෝaටර් රථය තුළ සිට ඇත්තේ රියෑදුරු පමණි.

මෙය නිසාන් සනි වර්ගයේ සුඛෝපභෝගි රථයකි. මෝටර් රථය පාර්ලිමේන්තු පොකුණේ ගිලී ඇති අන්දම ඡායාරූපයේ දැක්‌වේ.