ලාංකික තරුණිය තායිලන්තයේදී ගණිකාවක් කරලා

විසි හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක පැහැරගෙන ගොස් තායිලන්තයේදී ගණිකා වෘත්තීයේ යෙදවූවා යැයි චෝදනාවක් යටතේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්තයේ, පටායා නගරයේ පොලීසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හර්ෂ කුමාර(34) හා මදුර තුෂාර( 26) නම් පුද්ගලයින් දෙදෙනෙකි.

අදාළ තරුණිය පසුගිය ඔක්තෝම්බර් මස 30 වන දින එරටට රැගෙන ගොස් ඇති අතර එම තරුණිය විසින් එරට පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

අදාළ තරුණිය රැකියාව සඳහා විදෙස්ගතවීමට නියමිතව සිටියදී ඇය පැහැරගෙන ගොස් තායිලන්තයේ - පටායා නගරයේ ගණිකා වෘත්තීයේ යෙදවූ බව අදාළ පැමිණිල්ලෙන් දක්වා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ එරට පොලීසිය පැමිණිල්ල ලැබී දිනකට පසුව එනම් නොවැම්බර් මස 12 දින සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

නමුත් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව එරට පොලීසිය විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.