ඔබේ දරුවාගේ නුවණ වඩන විස්මිත රහස් ආහාර

ඔබේ දරුවාගේ නුවණ වඩන විස්මිත රහස් ආහාර

වර්තමානය වන විට බොහෝ දෙමව්පියන් හුරුව ඇත්තේ විභාග ළංවන විට නොපෙනෙන දෙවියන් යාළු කර ගෙන ඒ හරහා දරුවන්ගේ අධ්‍යාපනයට සහයෝගයක් ලබා ගැනීමටය. එලෙසම විශේෂ විභාග නැකත් සොයා යෑමටද අද දෙමව්පියෝ වළකති. එහෙත් සැබැවින්ම දරුවන්ගේ මනස වර්ධනය වන මතක ශක්තිය වැඩි වන ආහාරපාන කෙරෙහි අද දෙමව්පියන්ගේ ඇල්ම බැල්ම නැතිවී ගොස් ඇති සේයකි. 

බුද්ධාගමේ මූලික දර්ශනයට ප්‍රතිවිරුද්ධ වුවත් නොපෙනෙන දෙවියන් හැර වෙනත් විකල්පයක් වර්තමානය වන විට ඒ දෙමව්පියන්ට නොමැති තත්ත්වයකට වටේ සිටින තක්කඩි පත්කර හමාරය.

මේ වන විට අප මුහුණ දෙන අර්බුදයක් නම් දරුවන්ගේ මතකය පිළිබඳ බොහෝ ගැටලු පැනනැගීමයි. මේ නිසාම මව්පියන් මතකය වර්ධනය කරගැනීම සඳහා දරුවන්ට විවිධ පෙති කරල් ආදියේ පිහිට ලබන අවස්ථා ද බොහෝ වේ. අතීතයේදී තමා ලබා ගන්නා ලද දැනුම තමා තුළම එනම් තම මනසේ තැන්පත් කර ගත්තද වර්තමානය වන විට එය පරිගණක ආදී විවිධ උපකරණවලට පවරා ඇති අතර කල්යත්ම දරුවා නව නිර්මාණශීලී අදහස්වලින් තොර වූ හුදු රොබෝ යන්ත්‍ර බවට පත්වනු නොඅනුමානය. අඩුම තරමින් මනසින් ගණිතමය ගැටලුවක් විසඳා ගැනීමට තරම්වත් බොහෝ දරුවෝ වර්තමානය වන විට අසමත් වෙති.

දරුවකුගේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමේ මූලික අවධිය වනුයේ ඔහු මවගේ කුසයේ වැඩෙන අවස්ථාවයි. ඒ බව නූතන පර්යේෂකයෝද අවධාරණය කරති. එම කාලයේදී මවගේ ඇවතුම් පැවතුම් සේම ඇය ගන්නා ආහාරපාන ජීවත්වන පරිසරය ද මේ සඳහා බලපාන බව තහවුරුවී ඇති අතර ඇයගේ මෙන්ම කුස තුළ සිටින දරුවාගේ මනස වර්ධනය කරන ආහාර ඇය ගතයුතුය. මේ දරුවන් ජීවත්වන පරිසරය කටුක බවින් තොර සෞන්දර්යාත්මක හැඟීම් උපදවන පරිසරයක් වන්නේ නම් වඩාත් වැදගත් වේ. ඇය අසන දකින බොහෝ දෑ කුසේ වැඩෙන දරුවාට බලපායි.
වැඩෙන කුඩා දරුවාගේ මොළය වර්ධනය කිරීම සඳහා ලබා දෙන ආහාරවල විශේෂ වැදගත්කමක් ඇත. විශේෂයෙන් අලුත උපන් දරුවාගේ රන්කිරි කටගෑම යනුවෙන් අදහස් කරන්නේද දරුවාගේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීමයි. ස්වර්ණ භෂ්ම සමග මව්කිරි ලබාදී එමගින් බලා‍පොරොත්තු වන්නේ නිරෝගී නුවණැති දරුවෙකු වර්ධනය කරගැනීමයි එය අප ජනතාව අතරේ පවතින විශ්වාසයකි. බිලිිඳා වර්ධනය කිරීමේදී ඔහුගේ මොළේ වර්ධනයට නිරෝගීකම මහත් සේ බලපානු ලබයි. අපගේ මව්වරු ඈත අතීතයේ සිට දරුවාට රතකල්කය දීමට වගබලා ගත්හ. විශේෂයෙන් රතකල්කයෙහි අඩංගු වදකහ දරුවාගේ මොළය වර්ධනය කිරීමට ඉමහත් පිටුබලයකි.

විශේෂයෙන් මොළය ආශ්‍රිතව සිදුවන්නාවූ ක්‍රියාකාරකම් යහපත් කිරීමට වදකහවලට හැකියාව තිබේ.
අපගේ මව්වරු මේ කිරිවලට අමතරව ඝන හෝ දියර ආහාර දරුවාට ලබා දෙන අවස්ථාවලදී එම ආහාරවලට අමතරව ලුණුවිල තැම්බු වතුර ගොටු දඬු ආදිය දෙන්නට වගබලා ගත්හ. ලොකු කුඩා කාටත් ගුණදෙන ලුණුවිල අපගේ මොළයේ ස්නායු වර්ධනයවීම මෙන්ම මතක ශක්තිය ඇති කිරීමට බෙහෙවින් උපකාරී වෙයි. තවද දරුවාගේ රුධිරය පිරිසිදු කරන අතරම ඔහු නිරෝගීව තබා ගැනීමට ද උපකාරි වෙයි. 

වැඩෙන දරුවාට ඝන ආහාර ලබා දීමේ දී නිරන්තරයෙන් රතු නිවුඩු සහිත සහල්වලින් කරන ලද බත් ලබා දිය යුතුය. විශේෂයෙන් රතු හීනටි කළු හීනටි වැනි සහල් වර්ගවලින් කරන ලද බත දරුවාට ලබාදීමෙන් දරුවාගේ මොළයේ මතක ෙසෙල ආරක්ෂා කර ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට එම සහල්වලට හැකියාව ඇත. එසේ නැතත් රතු නිවුඩු සහල් ලබාදීම මගින් යහපත් ප්‍රතිඵලයක් ලැබිය හැකිවේ. මොළයේ මතක ෙසෙල වැඩි දියණු කිරීමේ හැකියාව රතු නිවුඩු හා‍ලේ නිවුඩ්ඩ තුළ තිබෙන සංඝටකවල ඇති බව අපේ පැරැන්නෝද දැන සිටියහ. වඩාත් නිරෝගී මෙන්ම ගුණ නුවණින් යුතු දරුවකු වෙනුවෙන් නම් ඔහුට රතු කුකුළු සහල්වලින්් කරන ලද බත ලබා දීම වඩාත් යෝග්‍ය වේ.

වර්තමානයේ භාවිත නොවුණත් අතීතයේදී දරුවන්ගේ නැති නුවණ වර්ධනය සඳහා දුහුදු තෙල් භාවිත කෙරිණි. දුහුදු යනු අපේ පරිසරයෙන් වඳවීයෑමේ තර්ජනයට ලක්ව ඇති වැල් වර්ගයකි. ලංකාවේ ස්ථාන කිහිපයක පමණක් දැකිය හැකි දුහුදු ඇට මගින් සිඳ ගන්න තෙල් බිංදු වශයෙන් දරුවාට ලබාදීමෙන් දරුවාගේ මතක ශක්තිය වර්ධනය වන බව පැරැන්නෝ දැන සිටියහ. එයට ‍ජ්‍යොතිෂ්මතී තෙල් යනුවෙන් ද නමකි.

ඉගෙන ගන්නා වයසේ පසුවන දරුවන්ට අපගේ පැරැන්නෝද විවිධ අත් බෙහෙත් කෙම් ක්‍රම මතක තබාගැනීම සඳහා භාවිත කළහ. ධාරණ ශක්තිය වර්ධනය කරන විවිධ තෙල් වර්ග සිඳ පානයට හෝ හිස ගැල්වීමට ලබා දෙනු ලැබිය. උදාහරණයක් ලෙස සරස්වතී තෛලය එසේ නම් කළ හැකි වේ. නමුත් එකල බොහෝ විෂයන් කටපාඩම් කිරීම සිරිත විය. එහිදී මතක තබාගැනීම පිණිස පාඩම් කරන අවස්ථාවේ හීං ගොටුකොළ කොටා කුඩා ගුලියක් සේ සකස් කර මුඛයේ තබා පාඩම් කිරීමට දරුවාට පුරුදු කෙරිණි. ඊට අමතරව ගොටුකොළ කොටා ‍පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා එම යුෂට ගිතෙල් මීපැණි එක්කර උදේට හිස් බඩට දරුවාට ලබා දීමෙන් දරුවාගේ මතක ශක්තිය වර්ධනය වන බව ඔවුහු දැන සිටියහ.

විශේෂයෙන් දරුවන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ අටියෙන් කරන්නාවූ විරේක කර්ම නිසි කලට සිදුකිරීමෙන් ද ඔවුන්ගේ මොළයේ වර්ධනයට උපකාරී වේ. තවද කුරුඳු කුඩු මී පැණි ස්වල්පයක් සමග උදෑසන දරුවාට ලබා දීමෙන් ද දරුවාගේ මතක ශක්තිය වර්ධනය වේ. 

ආහාර වශයෙන් ගත් කල උදෑසන ආහාරය සමබල අහාර වේලක් වීම මෙන්ම උදෑසනට විවිධ කොළ කැඳ වර්ග ලබාදීම ද වඩාත් යෝග්‍ය වේ. කතුරු මුරුංගා, මුරුංගා කොළ, ‍පොල්කිරි මිශ්‍ර ආහාර ‍පොල්තෙල්, එළඟිතෙල් මිශ්‍ර ආහාර, දිවුල් වැනි පලතුරු ආදිය ආහාර වශයෙන් ඉතාමත් වැදගත් වේ. දරුවන්ගේ හිසට කරන්නා වූ ප්‍රතිකාරද ඉතාමත් වැදගත්වේ. හිසට හැකි සෑම විට උදෑසන කාලය තුළ තෙල් දමා පිරිමැදීම තුළින් හිසට මොළයට අවශ්‍ය රුධිර සම්පාදනය පහසුවේ. විශේෂයෙන් බ්‍රහ්මී වැනි තෙල්වර්ග ගොටුකොළවලින් සාදන ලද තෙල්වර්ග ආදිය හිසට දැමීමෙන් මතක ශක්තිය වර්ධනය කර ගත හැකිවේ.

දරුවාගේ මතක ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා විශේෂයෙන් ඔහුගේ විහරණයන්ද වඩා වැදගත් වේ. උදෑසන අවදිවීම මෙන්ම රාත්‍රී කාලයේ නිසි කාල පරාසයක් නිදා ගැනීම ද ඉතා වැදගත් වේ. ඊට අමතරව විවේක කාලය තුළ තවත් මනස වෙහෙසවන වෙනත් කාර්යයක නියැළෙනවාට වඩා සංගීතය ක්‍රීඩාව වැනි සෞන්දර්යාත්මක ක්‍රියාවලියක නිරතවීම මෙන්ම පාරිසරික සුන්දරත්වය නැරඹීමද වඩාත් යෝග්‍ය වේ. ඊට අමතරව උදෑසන භාවනා ආදිය මෙන්ම යෝග කිරීමද මතක ශක්තිය වර්ධනය කිරීමට වඩාත් ඉවහල් වේ. ඊට අමතරව උදෑසන අවදිවීමෙන් පසු හීංවැලි සහිත මිදුලක හෝ උඳුපියලිය තණ බිස්සක සක්මන් කිරීමද ඉතාමත් වැදගත් වේ. මන්දයත් දෙපයට කරන ලද සත්කාර ජුවම හිසට බලපාන හෙයිනි. සෙම් පිත් වඩන ආහාර නිරන්තරයෙන් ගැනීම වැළකිය යුතුවේ. මේ ආදී වශයෙන් දරුවාට ලබාදෙන ආහාර මෙන්ම දරුවාගේ විහරණ රටාව වෙනස් වූ කල්හි ඔහුගේ මතක ශක්තිය වඩාත් දියුණු වී වඩා නිර්මාණශීලී මිනිසකු බිහිකර ගැනීමට හැකියාව ලැබෙයි.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය