ගම්මන්පිලට රට යන්න අවසර

ගම්මන්පිල
විදේශිකයකුට අයත් සමාගමක කොටස්‌ විකුණා රුපියල් මිලියන 21 ක්‌ වංචා කිරීමට ආධාර අනුබල දුන්නැයි චෝදනා එල්ල වී ඇති පිවිතුරු හෙළ උරුමය පක්‌ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට විදේශ ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (09 දා) අවසර ලබා දුන්නේය. 

ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්‌වාත් දෙසැම්බර් 9 වැනිදා සිට 20 වැනිදා දක්‌වාත් විදේශ ගතවී සිටීමට ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයාට අධිකරණයෙන් අවසර ලැබිණි.
ඉන්දියාවේ පැවැත්වෙන විවාහ මංගල්‍යය උත්සවයකට හා ජපානයේ පැවැත්වෙන සම්මේලනයට සහභාගි වීමට අවසර ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ නයනා සෙනවිරත්න මහත්මිය විරුදධත්වය නොදැක්‌වීම නිසා විනිසුරුවරයා එම අවසරය ලබා දුන්නේය.

අධිකරණය භාරයට ගෙන තිබූ විත්තිකාර මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු වෙත මුදාහරින ලෙසත් විදේශ ගමන් තහනම් කරමින් නිකුත් කොට තිබූ නියෝගය තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා මහාධිකරණ ලේඛකාධිකාරිවරියට වැඩිදුරටත් නියෝග කළේය. එම නඩුවේ සාක්‌ෂි විභාගය ලබන මාර්තු 9 වැනිදා පැවැත්වීමටද දින නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ දෙවන හා තෙවන සාක්‌ෂිකරුවන් ලෙස නම් කොට තිබූ ඔස්‌ටේ්‍රලියානු ජාතික බ්‍රයන් සෙඩික්‌ යුවළට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමටද නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පරිගණක සාක්‌ෂි ඉදිරිපත් කිරීමට අපේක්‌ෂා කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන් අතර, පරිගණක සාක්‌ෂි සම්බන්ධයෙන් විත්තියේ කරුණු දැක්‌වීම සඳහා නඩුව ලබන ජනවාරි 16 වැනිදා යළි කැඳවන ලෙසටද එහිදී මහාධිකරණය නියෝග කළේය.