හිටපු ඇමැති ජීඑල්ට එරෙහි පරීක්ෂණයක්

ජී.එල්.පීරිස්
විදේශ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සීමාවකින් තොරව වියදම් කිරීම පිළිබඳ හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය ඊයේ (24) තීරණය කළේය.

ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සීමාවකින් තොරව වියදම් කර ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු පැමිණිලි අනුව ඉහත පරීක්ෂණ ආරම්භ කෙරේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයට වෙන් කළ මුදල් නිසි අනුමැතියකින් හා ක්‍රමවේදයකින් තොරව විදේශ සංචාර සඳහා යෙදවීම, විදේශ අමාත්‍යාංශය විසින් වියදම් නොකළ යුතු පුද්ගලයන්ට ගුවන් ටිකට් පත් ගැනීම, එයාර් බස් ගුවන් යානා නවතාගෙන සිටීමට මුදල් යෙදවීම සහ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු වරප්‍රසාදයන්ට අයත් නොවන කටයුතු සඳහා අමාත්‍යාංශ මුදල් වැය කිරීම යනාදි චෝදනා රැසක් යටතේ මේ පරීක්ෂණ කෙරේ.

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ වසර 5 තුළ අමාත්‍යාංශයේ කළ සියලු මහා පරිමාණ වියදම් පිළිබඳ සවිස්තර තොරතුරු දින 10ක කාලයක් ඇතුළත දිය යුතු බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සියලු අංශ ප්‍රධානීන්ට ඊයේ දිනයේම නියෝග නිකුත් කෙරුණි.