සිසුවාට පහර දී අතේ 'තමිල්' කියා කොටලා

ක්‍රිකට්‌ පොලු අතැතිව පැමිණි තරුණයන් පිරිසක්‌ විසින් දුම්රිය මාර්ගයකදී පාසල නිමවී පැමිණෙමින් සිටි සිසුවකුට පහර දී උල් කටුවකින් දකුණු අතෙහි තමිල් යනුවෙන් ඉංග්‍රීසියෙන් කොටා පන්නා දැමීමේ පුවතක්‌ තලවාකැලේ පොලිස්‌ බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

තලවාකැලේ සුමන මහ විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා තුවාල සහිතව නිවසට ගියමුත් මේ පිළිබඳව දෙමවුපියන්ට පවසා නැත. පසු දින තුවාල සහිතව පාසලට පැමිණි සිසුවාගෙන් ගුරුවරුන් කරුණු විමසීමෙන් අනතුරුව ඔහු ලිඳුල රෝහලට ඇතුළු කිරීමට ඔවුන් කටයුතු යොදා ඇත.

තුවාල ලැබූ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තලවකැලේ පොලිසිය මගින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පාසල නිමවී තලවකැලේ නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි නිවෙස වෙත යමින් සිටියදී තමා මෙසේ පහරකෑමට ලක්‌වූ බව සිසුවා පොලිසියට පවසා ඇත.