ට්‍රම්ප් ඔබාමා හමුවෙයි

ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (10දා) දහවල් ධවල මන්දිරයේදී වත්මන් ජනපති බරැක් ඔබාමා හමුවී සාකච්ඡා පැවැත්වීය.

නව ජනාධිපතිවරයා තේරීපත් වීමෙන් පසුව සිදුවන බල හුවමාරුව පිළිබඳව මෙන්ම, විදේශ ප්‍රතිපත්ති ඇතුළු තවත් බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් පැයකට අධික කාලයක් මෙම සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් වාර්තා පවසයි.

ධවල මන්දිරයේ, ඕවල් කාර්යාලයේදී සිදුවූ මෙම ඓතිහාසික හමුවෙන් පසුව. එම ස්ථානයේ සිටම මාධ්‍ය වෙත අදහස් දැක්වීමටද වත්මන් ජනපති හා තේරීපත් නව ජනපති ක්‍රියා කළහ.

එහිදී, ඔබාමා හමුවීම ගෞරවයක් බව පැවසූ ට්‍රම්ප් ඉදිරියේදී ඔබාමාගෙන් උපදෙස් ලැබීමට තමා.බලාපොරොත්තු වන බවද පවසා සිටියේය.

ඔබාමා පවසා සිටියේ ට්‍රම්ප් වෙත සියලු ආකාරයේ සහයෝගයන් දක්වන බවයි. එමෙන්ම, විදේශ ප්‍රතිපත්ති, දේශීය ප්‍රතිපත්ති මෙන්ම, ධවල මන්දිරයේ සංවිධාන ව්‍යුහය ආදී කරුණු සම්බන්ධයෙන් ඔවුනොවුන් සාකච්ඡා කළ බවද ඔබාමා පවසා සිටියේය.

70 වැනි වියෙහි පසුවන ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පැවති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවේ, ඔහු සමග තරග කළ ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙත අනපේක්ෂිත පරාජයක් අත්කර දෙමිනි.

මැතිවරණයට ව්‍යාපාරය පුරා ඔබාමා විසින් ට්‍රම්ප් ජනාධිපති ධුරයට නුදුසුදු පුද්ගලයෙකු ලෙස හඳුන්වමින්, ක්ලින්ටන්ගේ බල කඳවුරට උපරිම සහයෝගයක් ලබාදුන්නේය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග නව ජනාධිපතිවරයා සමග රට ගොඩනැගීමට ඔහුට සහයෝගය දැක්විය යුතු බව ඔබාමා පවසා සිටියේය.